කලක් රටේ ආන්දෝලනාත්මක චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ නිවසේ ගෘහ සේවයේ නිරතව සිටිය දී මුද්දක් සොරකම් කළ බවට වූ චෝදනාවක් මත වැලිකඩ පොලිිසය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන සිටි රාජ්කුමාරි නැමැති කාන්තාව පොලිස් අත්අඩංගුවේ දී මිය යෑමට පෙර ඇයට අමානුෂිකව පහර දුන් ආකාරය සම්බන්ධව අද (21) ඇසින් දුටු සාක්ෂි කරුවෙක් අධිකරණයේ දී හෙළි කළේය.
මේ හෙළි කිරීම සිදුවූයේ වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී රාජ්කුමාරි නැමැති ගෘහසේවිකාව මිය යෑම පිළිබඳ නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී ය.
විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් මහේන්ද්රන් සුරේෂ් නමැති සාක්ෂිකරුවෙක් තමන් දුටු සිදුවීම අධිකරණය ඉදිරියේ මෙසේ ප්රකාශ කළේය.
“දිනක් මා පිටකොටුව ප්රධාන බස් නැවතුම අසල සිටි අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ මාංචු දමා වාහනයකට නංවා බොරැල්ල කොටා පාරේ පිහිටි රාජ්කුමාරි සේවය කළ නිවසට රැගෙන ගියා.”
“පසුව රාජ්කුමාරි නමැති මෙම කාන්තාවත් කැඳවාගෙන ආපු පොලිසිය මගේ අතේ තිබුණ එක් මාංචුවක් ඇයගේ අතට දැම්මා. මෙම කාන්තාව පොලිසියට රැගෙන යන අවස්ථාවේ ඇයට කිසිදු අසනීපයක් තිබුණෙ නෑ. ඇය හොඳින් ඇවිදගෙන ගියේ.”
“වාහනයෙන් අරන් එන අවස්ථාවේදී, “ඔයා නේද මුද්දයි, සෙන්ට් බෝතලයයි, සපත්තු කුට්ටමයි හොරකම් කළේ..” කියා වාහනය තුළ සිටි පොලිස් නිලධාරියෙක් රාජ් කුමාරිගෙන් ඇහුවා.”
“ ඊට පස්සේ වැලිකඩ පොලීසියට මමත් ඒ කාන්තාවත් ගෙනාවා. එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මටත් රාජ්කුමාරිටත් පහර දුන්නා.
පහර දුන් එක් පොලිස් නිලධාරියක් තට්ටය තියෙන කෙනෙක්. අනෙක් නිලධාරියා කෙට්ටු උස පුද්ගලයෙක්. කෙට්ටු උස නිලධාරියකු රබර් බටයකින්ට මියගොස් සිටින රාජකුමාරිට පහර දෙනවා මා දැක්කා. “
මේ මරණයට අදාල පරික්ෂණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් හර්ෂණ කැකුණල අනතුරුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා නියෝග කළේ අදාල වර්තාව ලබන මස 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.