කෑගල්ල දිස්ත්රික් සමගි ජන බලවේගයේ ප්රධාන කාර්යාලය තුළ වෙඩි වැදී මිය ගිය කාන්තාවගේ මරණය මිනී මැරුමක් විය හැකි බවට සාක්ෂි ලැබෙමින් ඇතැයි විමර්ශන ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් කෑගල්ල දිස්ත්රික් සජබ ආසන සංවිධායක ලක්ෂ්මන් දිසානායක නැමැත්තා සහ මිය ගිය තැනැත්තිය අතර සමීප සම්බන්ධතාවයක් පැවති බවත් මෙම කාන්තාව කාලයක් තිස්සේ එම කාර්යාලයේ සේවය කර ඇති බවත් හෙළි වී ඇත.
කෑගල්ල හබුදුගල ප්රදේශයේ පදිංචි මෙම 38 හැවිරිදි කාන්තාව ආසන සංවිධායකවරයා විසින් ඊයේ (01) උදෑසන ඇයගේ නිවසට ගොස් කාර්යාලයට කැඳවාගෙන පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම කාන්තාව මේ සතියේ තමන්ගේ විවාහය ලියාපදිංචි කිරීමට සූදානම් වී සිට ඇති බවත්, විවාහ ගිවිසගෙන තිබුණේ ග්රාම නිලධාරීවරයෙක් සමග බවත් විමර්ශනයේ දී හෙළි වී තිබේ. ඇය විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ලබන වසරේ විවාහ උත්සවය ගැනීමට සැලසුම් කරගෙන සිට ඇත.
මේ විවාහයට දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරු එරෙහි වී ඇති බවත් ඒ හේතුවෙන් දෙදෙනා අතර යම් අමනාපයක් ඇති වී තිබුණු බවත් අනාවරණය වේ.
සීසිටීවි කැමරා පරීක්ෂා කළ විමර්ශකයින්ට පෙනී ගොස් ඇත්තේ මෙම තරුණිය සහ පුද්ගලයා කාමරයට යන ආකාරයත් අනතුරුව විනාඩි 14කින් පමණ කලබලයෙන් කාමරයෙන් පිටත් වී එන ඔහු අත් සෝදන ආකාරයත්ය.
අනතුරුව ඔහු කාන්තාවගේ සහෝදරයාට කතා කර එම කාන්තාව වෙඩි තබා ගත් බව පවසා ඇත.
කාන්තාව ඇඳේ වැටී ඇති ආකාරය, ඇයට දුරින් ඉහල සිට පහළට වෙඩි පහර එල්ල වී ඇති ආකාරය සම්බන්ධවත් මේ කාන්තවාවට පිස්තෝලයක් ලැබුනේ කෙසේද යන්න පිලිබඳවත් විමර්ශන අංශවල අවධානයට යොමු වී තිබේ.
මේ තොරතුරු අනුව වඩාත් සාධාරණ සැකයක් ඇතිවන්නේ සියදිවි හානි කරගැනීමකට වඩා ඝාතනයකට බව විමර්ශන අංශ පවසයි.







