මෙවර 2025 පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් කැස්බෑව නගර සභාව වෙත ඉදිරිපත් කරන ලද නාමයෝජනා ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ජාතික ජන බලවේගයේ නාමයෝජනා පිළිගෙන ඇති කාන්තා අපේක්ෂකයෙකු නාමයෝජනා ඉදිරිපත් කිරීමට වසරකට අදාළ කාල සීමාව තුළ කැස්බෑව නගර සභාවේ සේවිකාවක් වූ බැවින් නීතියට අනුව ඇය එම අයදුම් කිරීම සඳහා නුසුදුස්සකු බවත් එබැවින්, සමස්තයක් ලෙස ජාතික ජන බලවේගයේ නාමයෝජනා ලැයිස්තුව අනිවාර්ය පිරිමි/කාන්තා අනුපාතය සපුරා නොමැති බවත් අදාල පෙත්සම ගොනු කරමින් සමගි ජන බලවේගය දක්වා ඇත.
ඒ අනුව, ජාතික ජන බලවේගයේ නාමයෝජනා ලැයිස්තුව අවලංගු විය යුතු බවත්, එවැනි නාමයෝජනා ලැයිස්තුවක් සමඟ තවදුරටත් ඉදිරියට යාම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් චෝදනා එල්ල වි තිබේ.
2025 අප්‍රේල් 4 වන දින, පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා පළාත් පාලන මැතිවරණ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අනෙකුත් සියලුම රිට් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන ලදී.
කෙසේ වෙතත්, සමගි ජන බලවේගය සම්බන්ධ පෙත්සම 2025 අප්‍රේල් 28 වන දින සහාය දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තබනු ලැබ ඇත. මේ සම්බන්දයෙන් මැතිවරණ කොමිසම ඇතුළු අදාළ සියලුම පාර්ශවයන්ට සතියක් ඇතුළත නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය තවදුරටත් උපදෙස් නිකුත් කර තිබේ.







