ලලිත් චාමින්ද
දේශිය ආදායම් දේපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ නඩත්තු හා සේවා කටයුතු කොන්ත්‍රාත්තුව තවත් වසර 03ක් සඳහා රුපියල් බිලියන 3.1ක මුදලකට ( සිංගප්පුරු ඩොලර් 309,824) සිංගප්පුරු සහයෝගිතා ආයතනයේ උප කොන්ත්‍රාත්කරුවකු වෙත ලබා දී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
තොරතුරු පද්ධතියේ නඩත්තු කිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම 2020 වර්ෂයේ ඔක්තෝබර් මසදී අවසන් වීමට නියමිතව තිබුනි. එහෙත් තොරතුරු පද්ධතියේ නඩත්තු හා සේවා කටයුතු සදහා සේවකයන් බඳවා ගැනීමට හා මෘදුකාංග හා දෘඩාංග යාවත්කාලින කිරීමට කටයුතු නොකිරීම නිසා එම පද්ධතිය භාර ගැනීමට දේශීය ආදායම්බදු දේපාර්තමේන්තුවට නොහැකි වී තිබුණි. මේ හේතුවෙන් පළමුව කොන්ත්‍රාත් ගිවිසුම මාස තුනක කාලයක් සඳහා දීර්ඝ කරමින් අදාල කොන්ත්‍රාත්කාර සමාගමට රුපියල් හාරකෝටි හැටඅටලක්ෂ,විසිහයදහස් පනස්තුනක (46,826,053) මුදලක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉන්පසු නැවත වතාවක් මෙකි පද්ධතියේ නඩත්තු සේවා කොන්ත්‍රාත් ගිවිසුම වසර 03කට දිර්ඝකොට (2021 පෙබරවාරි 01 දින සිට 2024 ජනවාරි 31 ) අදාල උපකොන්ත්‍රාත්කරුවෙත ලබා දී තිබුණි.
මෙම තොරතුරු පද්ධතියේ නඩත්තු හා සේවා කටයුතු සඳහා (2016 ජනවාරි මස සිට 2020 ඔක්තෝබර් දක්වා )පසුගිය වසර 04ක කාලය තුල රුපියල් හැත්තදෙකෝටි,පනස්ටලක්ෂ,අසුදෙදහස් හයසිය දහනමයක (725,882,619) මුදලක් වැයකොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙකී තොරතුරු පද්ධතියේ නඩත්තු කටයුතු අදියර වශයෙන් පවරාගත යුතු වුවද කාර්යමණ්ඩලය බඳවා ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් දෙවන අදියර පවරා ගැනීම 2023 දක්වා වසරකින් දිර්ඝ කිරීමට සිදු වී තිබුණි. දේශීය ආදායම් බදු දේපාර්තමේන්තුව විසින් මෙකී තොරතුරු පද්ධතියේ නඩත්තු කටයුතු නියමිත දිනට තවදුරටත් භාරගැනීමට අපොහොසත් වුවහොත් දෙවැනි අදියර සදහා ගිවිසුම්ගත දෙවැනි වසරට මසකට සිංගප්පුරු ඩොලර් 89.438ක අමතර පිරිවැයක් දැරිමට සිදුවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම තුන්වැනි අදියර භාර නොගැනීම මත ගිවිසුම්ගත වී 03 වැනි වසරට මසකට සිංගප්පුරු ඩොලර් 191,498 බැගින් අමතර පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙකි තොරතුරු පද්ධතියේ පළමු අදියර සඳහා දේශීය ආදායම්බදු දේපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 04ක මුදලකට සිංගප්පුරු ආයතනයක් සමග ගිවිසුම් ගතව තිබුණි. මෙම තොරතු පද්ධතියේ වැඩකටයුතු නිමකර මොඩියුල 2016 ජනවාරි 01 සිට ක්‍රියාත්මක කොට තිබුණි. දේශිය ආදායම් දේපාර්තමේන්තුව සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.