කාබනික ගොවිතැන්නි සිදුවන වගා හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවන බව ජනාධිපතිවරයාගේ සජීවී අනුමැතිය සහිතව කෘෂිකර්ම ඇමතිවරයා ගොවි හමුවක දී ප්‍රකාශ කළ ද එම වන්දි ගෙවීම් සඳහා කිසිදු මුදලක් අයවැයෙන් වී නැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
වර්ෂ 2022 සඳහා කිසිදු පරිපූරක ඇස්තමේන්තුවක් ද අනුමත නොකරන බව මුදල් අමාත්‍යවරයා දන්වා සිටිය දී වගා හානි සඳහා ගොවීන්ට පොරොන්දුවුණ ගෙවීම් සිදුකරන ආකාරය ඔහු ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම ගොවීන් වෙත ලබා දෙන බවට පොරොන්දු වූ නැනෝ නයිට්‍රිජන් දියර පොහොර සඳහා ද අයවැයෙන් ප්‍රතිපාදන වෙන් වී නැති අයුරු ඔහු පෙන්වා දුන්නේය.
කාබනික ගොවිතැන සමග අස්වැන්නේ අඩුවීමක් අනිවාර්යෙන් සිදුවන ආකාරය ඇස්තමේන්තු කර තිබිය දී ආහාර සුරක්ෂිත තාවය අනතුරේ හෙළන අතරම ගොවීන්ගේ ජීවිත බරපතල අර්බුදයකට ලක්කරන ආකාරය ගැන ඔහු විමසා සිටියේය.







