කුඩු පූසි යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වූ කාන්තාවක් කළුබෝවිලදී කුඩු කිලෝ එකකුත් ග්‍රෑම් 64ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්වීමේ සිද්ධියත් සමග මත්කුඩු ජාලය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය වෙමින් ඇතැයි වාර්තා වේ.
මේ තැනැත්තිය මුල් වී අලෙවි කරනු ලබන්නේ දැනට ලංකාවෙන් පැනගොස් ඩුබායි රාජ්‍යයේ ජීවත්වන බාඩෝවිට අසංක නැමැත්තාගේ මත්කුඩු බව විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
එම කාන්තාවගේ සැමියා හමුදාවෙන් පළාවිත් සිටින සෙබෙලෙකි. ආමි ඉන්දික නමින් හඳුන්වන මෙම තැනැත්තා 154 අඟුලාන-කිරිබත්ගොඩ බස් මාර්ගයේ බස් රථයක් කුලියට ගෙන එහි රියදුරු ලෙස කටයුතු කරමින් සිටින අයෙකි. මීට පෙර නිට්ටඹුවේ දේපල සමාගමක මුදල් වංචාවක් පිළිබඳ සිද්ධියකට ද මේ පුද්ගලයාගේ සම්බන්ධයක් ඇති බව හෙළි වී තිබේ.
කාන්තාව විසින් ලබා ගන්නා මත්කුඩු වැඩි වශයෙන් බෙදා හැර ඇත්තේ එම බස් රථයේ සඟවාගෙන බව විශේෂ කාර්ය බලකායට ලැබී ඇති තොරතුරුවල සඳහන් වේ.
එම පුද්ගලයා මේ වන විට පළාගොස් සිටින බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ. ඇය අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.