දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින්ගෙන් රාජසන්තක වූ යාත්‍රා 135 ක වෙන්දේසිය ආරම්භ වූ පලමු දිනය වූ ඊයේ (07) ධීවර දෙපාර්තමේන්තුව රුපියල් පණස් දෙලක්ෂ විසිපන්දාස් පන්සීයක ක මුදලක් උපයාගෙන තිබේ.
ඊයේ කරෙයිනගර් ප්‍රදේශයේ දී මෙම වෙන්දේසිය පැවැත්විනි.
මේ යාත්‍රා වලින් වැඩි සංඛ්‍යාවක් අබලන් තත්ත්වයේ යාත්‍රා වූ අතර එල් 42 දරණ අඩි 48ක් දිග විශේෂ ධීවර යාත්‍රාව පමණක් රුපියල් 1350000 කට අලෙවි වීම විශේෂ සිද්ධියක් වුය.
කොළඹ සිට යාපනයට පැමිණි ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම වෙන්දේසිය ආරම්භ කළ අතර එම වෙන්දේසියේදී ඉන්දීය ධීවර යාත්‍රා මිලට ගැනීම සදහා මීගමුව පුත්තලම මන්නාරම ත්‍රිකුණාමළය යන පළාත් වල පුද්ගලයින් 69 දෙනෙකු මුදල් ගෙවා වෙන්දේසි භූමියට පැමිණ සිටියහ.
ඉන්දීය ධීවරයින්ගෙන් රාජසන්තක වූ අනෙක් යාත්‍රා වෙන්දේසී කිරීම ඉදිරි දින පහක දී කල්පිටිය ඇතුලු පළාත් කීපයක සිදු කිරීමට නියමිතය.
ඉන්දීය ධීවරයින්ගෙන් රාජසන්තක වූ යාත්‍රා වෙන්දේසියේ විකිණීම සඳහා අධිකරණමය නියෝගයක් ධීවර දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇති නමුත් ඉන්දියාවේ තමිල්නාඩූ ධීවර සංගම් මෙම යාත්‍රා වෙන්දේසී කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කොට තිබේ.
යාත්‍රා වෙන්දේසී කිරීමෙන් ලැබෙන ආදායමෙන් යම් කොටසක් ඔවුන් ඉල්ලා සිටියත් ඊට පැහැදිලි ප්‍රතිචාරයක් මෙතෙක් පල වී නොමැත.