-
ගමේ අසරණයින්ගේ ආර්ථිකය කළමනාකරණය කරන “සමෘද්ධි බැංකුව“ විනාශ කරන්නෙ දේශපාලකයින් නෙමෙයි… නිලධාරීන්…
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකු ව්‍යාපාරය ක්‍රමානුකූලව දියකර හැරීමේ වැඩපිළිවෙළක නිරත වෙමින් සිටින බැවින් ඒ ගැන ජනපතිවරයාගේ විශේෂ අවධානය යොමුවිය යුතුව තිබෙන බවත් සමෘද්ධි දෙපාර්තමේන්තුවට අවශ්‍යය සේවක සංයුතිය අනුමත කරදීම වසර දෙකක් තිස්සේ කල්දමමින් සිටින බවත් සමස්ථ ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.වී අබේසිංහ පවසයි.
මහනුවර දී අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්ව අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
සමෘද්ධි දෙපාර්තමේන්තුවේ ගැටලු ඇති කිරීමට කටයුතු කර තිබෙන්නේ දේශපාලනඥයින් නොව නිලධාරීන් බවත් ඒ සඳහා කරුණු ඔප්පු කර පෙන්වීමට අවශ්‍යය සාක්කි බොහොමයක් තිබෙන බවත් ඔහු කීවේය.
සමෘද්ධි දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සඳහා අවශ්‍යය සේවා සංයුතිය අනුමත නොකර වසර දෙකක් තිස්සේ කළමනාකරණ සේවා දෙපාර්තමේනතුව සිදු කරන්නේ කුමක්ද යන්න සියලු දෙනා ප්‍රශ්න කළ යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේය.
සමෘද්ධි බැංකු ව්‍යාපාරය තුළ ගනුදෙනුකරුවන් ලක්ෂ 35 ක් පමණ සිටින බවද ඔහු කීය. කොවිඩ් සමයේ පවා ගමේ ජනතාව අතරට යමින් සුවිශාල සේවාවක් කළ සමෘද්ධි බැංකුවේ සේවක සංයුතිය අනුමත කර දීමට නොහැකි කළමනාකරණ සේවා දෙපාර්තමේනතුව කුමටද යන ප්රශ්නය ඇසිය යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.
සමෘද්ධි බැංකු සේවක සංයුතිය අනුමත කර නොදීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමට එරෙහිව ඉදිරි දෙසතිය තුළ ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන බවද සභාපතිවරයා කීවේය.
සමෘද්ධි පනත යටතේ සේවකයින් මුදා හැරීම සහ බඳවා ගැනීම් කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධව නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.









