ශ්‍රියානි විජේසිංහ –
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මෙන්ම කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරික්ෂක රෝෂාන් කුමාර සාහාසිකයෙකුගේ වෙඩි පහරකට ලක්ව මාසයක කාලයක් ගතවන නමුත් මේ වනතෙක් ඝාතකයන් සොයා ගැනීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට පොලීසිය අසමත් වීමට විරෝධය පළ කරමින් ලබන 28 වෙනි බ්‍රහස්පතින්දා ගාල්ල බස්නැවතුම්පොල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක් පවත්වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වනවිට රට පුරා ඝාතන රැල්ලක් ක්‍රියාත්මකවන බවත් එම ඝාතනයන් බොහෝමයක් සිදුව පැය 24ක් ගත වීමටත් පෙර වරදකරුවන්ව අත් අඩංගුවට ගන්නා නමුත් රෝෂන් ඝාතනය කළ ඝාතකයින්ව නීතියේ රැහැනට හසුකරවා ගැනීමට පොලීසිය අසමත් වීම පුදුමයට කරුණක් බවත් සංගමය පෙන්වාදේ.
මෙම ඝාතනය සිදුකළ ඝාතකයින් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලා පවත්වන විරෝධතාවට ගාල්ල , මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හි සියලුම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සහ දිවයිනේ අනෙක්තු ප්‍ර දේශයන් නියෝජනය කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණීමට නියමිත බවද සංගමයේ සභාපති උපුල් රෝහණ කීවේය.







