-
වතු කම්කරු වෘත්තීය සමිතිවලට දේශපාලන නායකයින්ට කිව්වට වැඩක් නෑ…
-
පහරදීම් එන්න එන්නම වැඩියි. අවසාන තීන්දුව වැඩ වර්ජනයකට ක්‍රියා මාර්ගයකට පිවිසීමයි…
මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන තේ නිෂ්පාදන ක්ෂේත්රයට සම්බන්ධ වතු පාලන අංශ නිලධාරින්ට වතු කම්කරුවන් විසින් සිදුකරන පහරදීම් එන්න එන්නම වැඩි වීම නිසා නිලධාරීන් ජීවිත අවදානමකට ලක්ව සිටින බව ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දයාල් කුමාරගේ පවසයි.
ඔහු එසේ පැවසුවේ තලවකැලේ වතුයායේ සහකාර වතු අධිකාරිවරයෙකුට සහ ක්ෂෙත්ර නිලධාරින් දෙදෙනෙකුට එම වතුයායේ කම්කරුවන් පිරිසක් පසුගියදා අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විරෝධය දැක්විම සදහා අද (01) නානුඔය රදැල්ල ක්‍රිඩාංගණ සංකිර්ණයේ පැවති මාධ්‍ය හමුවකදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එම සංගමයේ සභාපති දයාල් කුමාරගේ මෙසේද පැවසුවේය.
“තලවකැලේ වතුයායේ සහකාර වතු අධිකාරිවරයට පහර දිම සම්බන්ධයෙන් අප සංගමය දැඩි ලෙස විරෝධය පල කරනවා. මේ සම්බන්ධයෙන් වැවිලි ක්ෂේත්රයේ වෘත්තිය සමිති එක්ක සාකච්ඡාවක් පවත්වා සංකේත වැඩ වර්ජනයකට යන්නත් අපි බලාපොරොත්තුවෙන් වෙනවා. මේ සම්බන්ධ පරීක්ෂණ ගැන අපි අවධානයෙන් ඉන්නවා. තවමත් වර්ජනයකට යන්න අපි තිරණයක් අරගෙන නැහැ. “
“තලවකැලේ සිද්ධිය ඉතාමත් අශෝභන ජනකයි. පහර කෑමට ලක්වූ සහකාර වතු අධිකාරිවරයා වතුයායට පැමිණ මාස තුනක් ගතවෙලා නැහැ. කොරෝනා කාලේ එන්නත් පවා නොමැතිව අපි වැඩ කරලා රටට විශාල ලෙස විදේශ විනිමය උපයා දුන්නා. වතු අධිකාරිවරුන්ගේ සහයට ඉන්න අය තමයි වතු නිලධාරි මණ්ඩලය. ඒ අයට පහර දීලා අත් කඩනවා. ඒ මිනිස්සු රැකියාවට එන්නේ අතපය කඩා ගන්න නෙවෙයි.“
“මෙවැනි සිදුවීම් නැවත සිදු වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි ඇමතිවරුන්ට, වෘත්තිය සමිතිවලට දැනුම් දුන්නත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. කවුරුන් හෝ මරණයට පත්වුණාට පස්සේ තීරණ අරන් වැඩක් නැහැ. මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි.“
“පහර කෑමට ලක් වු සහකාර වතු අධිකාරිවරයාට සිදුවිය හැකි අතුරු ප්‍රතිඵල ගැන අපි දන්නේ නැහැ. ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රෝහලකට යොමුකර තිබෙනවා.“
මෙම මාධ්‍ය සාකච්ඡාවට වතු නියෝජනය කරමින් වතු අධිකාරිවරු සහ සහකාර වතු අධිකාරිවරු රැසක් සහභාගි වි සිටිහ.







