මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන වෙමින් සිටි තවත් තිදෙනෙකු ඊයේ (14 ) රාත්‍රියේ පලාගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.
ඉන් රැඳවියන් දෙදෙනෙක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආසන්නයේ සැඟව සිටියදී යුද හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි.
එලෙස පලාගිය රැඳවියන් මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර ඔවුන් තෛපොංගල් උත්සවය සැමරීමට පලායන්නට ඇති බවට වැලිකන්ද පොලිසිය සැක පල කරයි.
ඒ අනුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පලාගොස් මේ වනවිට අතුරුදහන්ව ඇති සංඛ්‍යාව දොළහ දක්වා වැඩි වී ඇති බවද වැලිකන්ද පොලිසිය කියයි.
පසුගිය දොළොස්වෙනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් ආහාර ගැටලුවක් මුල් කරගනිමින් ගල්, මුගුරු, සහ පොලු වලින් පහරදී ගැටුමක් ඇතිකර ගත් අතර එම ගැටුම අතරතුර රැඳවියන් අනුදෙදෙනකු පලාගොස් සිටියදී පොලිසිය යුද හමුදාව එක්ව දියත් කළ මෙහෙයුමකින් පසු අසූඑක් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.
එලෙස අත්අඩංගුවට ගත් පිරිසෙන් කිහිපදෙනෙකු වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් තවත් පිරිසක් කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් බාර දීමට වැලිකන්ද හා පුලස්තිපුර පොලිසිය පොලිසිය කටයුතු කළහ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය දොළොස් වෙනිදා ඇති වූ සිද්ධියත් සමග අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සියළු නිලධාරීන් මාරු කිරීමට පියවර ගත් අතර එම මධ්‍යස්ථානය තුළ සිටින රැඳවියන් සඳහා ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පැරණි රැඳවියන්, නවක රැඳවියන්ට විවිධ අඩත්තේට්ටම් කිරීම ආහාර සම්බන්ධව ඇතිවූ තත්ත්වයක් තුළ වර්ධනය වී එම ගැටුම ඇති වී තිබිණි.
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටියදී යුද හමුදාව සහ පොලිසිය එක්ව ක්‍රියාත්මක කර මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් රැඳවියන් කිහිපදෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ගගෙන තිබෙන අතර මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරියෙකු සඳහන් කළේය.
මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් තුන්සිය අනූදෙදෙනකු පමණ පුනරුත්ථාපනය වෙමින් සිටිති.