මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් පනස්දෙනෙකු පමණ අද (11) සවස පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
අද දහවල් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් දොලොස්දෙනකු පලාගොස් ඇති අතර ඉන් දසදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබිණි.
ඉන් අනතුරුව අද සවස රැඳවියන් පනස්දෙනකු යළිත් වරක් පලාගොස් ඇති අතර ඉන් විසි තුන්දෙනෙකු පුලස්තිපුර පොලිසියට භාරවී ඇති බව මේ පිළිබඳ අප කළ විමසීමකදී පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සඳහන් කළේය.
පලාගිය සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැලිකන්ද, අරලගංවිල මනම්පිටිය, පුලස්තිපුර පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද පොළොන්නරුව පොලිසිය කියයි.
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැනගිය රැඳවියන් කුමන ප්රදේශවලද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමට ප්‍රදේශයේ පහත් බිම් යටව තිබීමද මෙහෙයුම් වලට බාධාවක් වී තිබෙන බව මෙහෙයුමට සම්බන්ධ ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු අප සමඟ සඳහන් කළේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත වසරක කාලයක් උපදේශන සේවා සඳහා පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදී කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් සහ සේනපුර පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් වරින් වර පලාගොස් සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඔවුන් නැවත පුනරුත්ථාපනය කිරිමට කටයුතු කළේය.
බන්ධනාගාර හා පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මගින් පාලනය වන වැලිකන්ද කන්දකාඩු කඳවුරේ රැඳවියන්ට ආහාර ලබාදීමේදී හා පහසුකම් ලබා දීමේදී සිදුවන අඩුපාඩු නිසා මීට පෙර අවස්ථා කිහිපයකදීම රඳවියන් පිරිස් වශයෙන් පලා ගිය බව ආරක්ෂක අංශයේම නිලධාරියකු අප සමග කීවේය.
එවැනි තත්ත්වයන් සැලකිලට ගනිමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේදී මඩකලපුව පරවි දූපත මෙන්ම දූපත් කිහිපයක් යොදාගන්නේ නම් රජය මෙන්ම ආරක්ෂක අංශවලට මුහුණ දීමට සිදුවන ගැටලු සහ අපහසුතා මගහැරෙන බවද යුද හමුදාවේ ආරක්ෂක නිලධාරියකු පැවසීය.