අසේල කුරුළුවංශ –
මහා ව්‍යසනයක් නෙත් හමුවේය. මාවනැල්ල පොලිස් වසමේ ගනේතැන්න පහළ කඩුගන්නාවේ නිවසක් හා නිවස හා බද්ධවම පවත්වාගෙන යන කුඩා ආපන ශාලාවක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හය දෙනෙක් මිය ගොස් ඇත. තවත් සිවු දෙනෙක් තුවාල ලබා ඇත. ඔවුන් මාවනැල්ල මූලික රෝහලේ 07 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමිනි.
දෛවය ලියැවී ඇත්තේ මහා අරුම ආකාරයටය. ඊයේ ( 23) උදෑසන 8.54ට පමණ මෙම අනතුර සිදුවන විට හදිසි අවශ්‍යතාවයක් සඳහා ආපන ශාලා හිමිකරු 44 හැවිරිදි පුලන්දවේල් රගුනාදන් සසිදරන් පිටතට පැමිණ තිබිණි. ඔහුගේ දරුවන් දෙදෙනා ඒ වනවිට සිටියේ නිවසින් පිටය. පස් කන්ද කඩා වැටෙන්නේ ඒ අවස්ථාවේ දී ය. මේ ස්ථානයට කිසිම සම්බන්ධයක් නැති ගල් අමුණ, ඇඹිලිපිටිය, ගම්පොළ සහ කඩුගන්නාවේ පදිංචි පුද්ගලයින් සිවු දෙනෙක් මෙතැනින් යන අතර අවන්හලට ගොඩ වී සිටිය දී මිය ගියේය. ජීවිතය ගැන අපට යළිත් හිතන්නට තරම් කම්පනයක් ඇති වී තිබේ. සදාකාලික යැයි සිතාගෙන අනෙනකා මරාගෙන පවතින්නට යන්නේ කොයි මොහොතේ දැයි කිව නොහැකි මේ තරම් අස්ථිර ප්රපංචයක් වෙනුවෙනි.
මරණයට පත් වූ පිරිස
හෝටලයේ හිමිකරු පුලන්දවේල් රගුනාදන් සසිදරන්ගේ බිරිඳ නිශාන්තනී කරුණාකරන්ය. 39 හැවිරිදිය. නිශාන්තිනී ඒ කළු ගලයට පොඩි වී මිය ගියාය. පුලවේන්ද්රන්ගේ පියා මි රාසලිංගම් කරුණාකරන් (66) ද ඒ පස් කන්දය යට අවසන් සුසුම් හෙළුවේය.
වැලිගල්ල පාර ගල්අමුණ ලිපිනයේ පදිංචි ලහිරු මදුසංක සමරකොන් ( 31), කඩුගන්නාව බලවතගම ලින්ටන් ජානක කුමාර ජයසිංහ (අවු 60), ඇඹිලිපිටිය නවනගරයේ පදිංචි රුවන් කුමාර අබේසිරි සමරනායක (43), ගම්පොළ හීනරන්දෙණියේ පදිංචි ගුණරත්න මුදියන්සේලාගේ පුලස්ථි බණ්ඩාර (33) ද ඒ පස් කන්දය යට අවසන් සුසුම් හෙළා ඇත.
තුවාල ලබා ඇති පිරිස අතර ආපන ශාලා හිමිකරුගේ මව සිටින්නීය. ආපන ශාලාවේ සේවකයෙකු වන වට්ටප්පල පදිංචි මිගහ ගෙදර සමපත් බංඩාර ජයරත්න (අවු 44), පිළිමතලාව ඇඹිල්මීගම පදිංචි ලහිරු රුමේෂ් රත්නායක (අවු 33), පිළිමතලාවේ පදිංචි රුචිර තිලාන් මුනසිංහ, දන්තුරේ හාලියද්දේ පදිංචි චන්ද්‍රිකා නිශාන්ති (56) නැමැති අය තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත්තේය.
ව්‍යසනයෙන් පසු
ව්‍යසනය සිදුවූ මොහොතේ සිට ආරම්භ වන්නේ දැවැන්ත මානුෂික මෙහෙයුමකි. ඒ වෙනුවෙන් මුලින්ම මැදිහත් වන්නේ ප්‍රදේශයේ මිනිස්සුය. අනතුරුව පොලීසිය, යුද හමුදාව, ගිනි නිවන භටයින් ඇතුළු විශාල පිරිසක් දැවැන්ත මෙහෙයුමක් අරඹූහ. එය අඛණ්ඩ පැය 20ක උත්සාහයකි.
සුන්බුන් අතර සිටි දස දෙනා පිටතට ගන්නා සැනින් සුවසැරිය ගිලන් රථවලින් රෝහල් කරා යැවීමට පොලීසිය පියවර ගත්තේය.
තවමත් මෙහෙයුම අවසන් නැත. හදිසි ආපදාවට ලක් වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමට බෙරගල යුද හමුදාව මැදිහත්වීම මේ වනවිටත් අදාල අංශ සමග සම්බන්ධීකරණයෙන් සිදුකරමින් පවතී.
තවත් පැය 24ක කාලයක් නුවර පාර පහළ කඩුගන්නාවෙන් ඉහළ ප්‍රදේශය ඔස්සේ රථවාහන ගමන් කිරීමට ඉඩ සැලසෙන්නේ නැත. එම කාලය නිමා වූ පසුත් බර වාහනවලට එම ප්‍රදේශය ඔස්සේ ගමන් කිරීමට ඉඩ නොලැබෙනු ඇත. බොහෝ විට සැලකිය යුතු කාලයක් එම අවසරය ලබා දීම සඳහා ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.
කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත ලංකාසරට පැවසුවේ අවිනිශ්ඡතාවය මතු වී ඇත්තේ නායේ ගිය ස්ථානයට ඉහළින් තවමත් විශාල ගල් පැවතීමත්, එම ගල්වල ස්ථායී භාවය සම්බන්ධව ඇති වී තිබෙන සැකය මෙන්ම කඩුගන්නාව ගල විදපු ස්ථානයට පහළින් පාරේ කොටසක් විශාල පැලීමක් සමග ඉවත් වී තිබීමත් නිසා බවය.
එමෙන්ම ඉහළින් ඇති දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට ද වේග සීමා පනවා තිබේ. ඉහළ භූමිය අස්ථායී නම් දුම්රිය ගමනා ගමනයේ දී සිදුවන කම්පනය එම අස්ථායී භූමියට දරා ගත නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බවට සිදුකර අනුමානයන් මේ වේගසීමා පැනවීමට හේතු වී ඇත.
පැන නැගී ඇති ගැටලුවලට ස්ථාවර පිළිතුරක් ලබා ගන්නා තුරු බර වාහනවලට නුවර පාරේ පහළ කඩුගන්නාවේන් ඉහළ අස්ථායී කලාපය විවර නොවනු ඇත. අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කරන නිර්දේශ ප්‍රකාරව නායේ ගිය ස්ථානයට ඉහළින් ඇති විශාල ගල් එම ස්ථානයෙන් ඉවත්කර එම භූමිය ස්ථායීකරණය කළ යුතුව තිබේ. ඒ සඳහා වූ මූලික අධ්‍යයනයක් අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඩ්‍රෝන මගින් සිදුකරනු ඇත.
මේ මූලික පරීක්ෂණවලින් අනතුරුව අවට භූමියේ පාංශු ස්ථරවල ස්ථායීතාවය සම්බන්ධව දල අදහසක් ලබා ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. සියල්ල තීන්දු වන්නේ ඉන් අනතුරුවය.
විකල්ප මාර්ග
අනතුර සිදුවී ඇති කාලාපය ඔස්සේ වැටී ඇති මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ම මාර්ග භාවිත කළ යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කොළඹ සිහ කුරුණෑගල හරහා මහනුවර දක්වාත්, කොළඹ සිට කරඬුපන හරහා මහනුවර දක්වාත්, කොලඹ සිට මාවනැල්ල, හෙම්මාතගම, ගම්පල හරහා මහනුවර දක්වා මෙන්ම කොළඹ සිට මාවනැල්ල, ගනේවත්ත හන්දියෙන් කොවිල් කන්ද හරහා පිළිමතලාව, මහනුවර දක්වාත් වූ විකල්ප මාර්ග භාවිත කළ හැකි බව එම සංවිධානය දැනුම් දෙයි.
එමෙන්ම හෙට (24) දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්‍රදේශයට සහ කඩුගන්නාව ප්‍රදේශය වෙත යන දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් ආරක්ෂිතව සලසා දීමට කටයුතු යොදා ඇතැයිද එම සංවිධානය සඳහන් කරයි.
අනතුරක් වින්දනය කිරීමේ අමුතු පුරුද්දක් අපේ මිනිසුන් සතුය. අනතුර දැක බලා විනෝදවන්නට ඒ ප්‍රදේශවලට නොඑන ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවට අවවාද කර තිබේ.
සිද්ධියකට පසු බොහෝ ප්‍රමාණාත්මක විශ්ලේෂණ සහ විචාර ලැබේ. මේ ප්‍රදේශය නායේ යෑමේ අනතුරු සහිත ප්‍රදේශයක් ලෙස දැනුම් දී තිබුණු බවට මේ වනවිට තොරතුරු පළ වෙමින් ඇත. එහෙත් මේ මිනිස්සු නොමැරී ජීවත්වෙන ආර්ථික පසුබිම හැදෙන තැනකින් එක්වර දරු පවුල් වශයෙන් ඉවත් කිරීමට යෝජනා කරනවා නම් ඊට විකල්ප රජයක් විසින් ලබා දිය යුතුය. මානුෂික ප්රශ්නය නම් එක වර මිය යනවා ද , මැරි මැරී ජීවත් වෙනවා ද යන්නය.
බොහෝ විට මිනස්සු එක්වර මිය යෑම තෝරා ගනිති. පහළ කඩුගන්නාවේදී ද සිද්ධ වී තිබුණේ එය බව විශ්වාස කරමි.







