ජනාධිපතිවරණයට පෙර සංවර්ධන ව්‍යාපෘති සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 100 බැගින් රජය වෙන් කර ඇති අතර එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මන්දගාමී බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් කැඳවූ බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රවේශ මාර්ග, වාරිමාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය මෙතරම් විශාල ප්‍රතිපාදන ලබාදී ඇත්තේ පැහැදිලිවම ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් බව දේශපාලන අංශ පෙන්වා දෙයි.
රට පුරා ඇති ග්‍රාම සංවර්ධන කමිටු යෝජනා අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ඉන් පසුව අනුමත යෝජනා ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කිරීම සඳහා අවසාන අනුමැතිය සඳහා ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත යොමු කරන බවත් වාර්තා වේ.
රජයේ අභිලාෂකාමී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය වන ‘කඳුකර දශකය 2024-2033’ ව්‍යාපෘතිය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම මුදල් වෙන් කර ඇති බව රජයේ තොරතුරු හෙළි කරයි.
ඒ සඳහා මූලික අදියර යටතේ රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙන බවත්, එය 2024 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ව්‍යාපෘතියක් බවත් ආණ්ඩුව පවසයි.