දිනසේන රතුගමගේ
වවුනියාව සෙට්ටිකුලම නගරයේ වෙළද සැලක් පිටුපස කාමරයක මියගොස් සිටි අඹු සැමි යුවලකගේ මළ සිරුරු පොලීසිය විසින් අද (30) සොයා ගෙන තිබේ.
මේ අඹුසැමි යුවල සිය පුතා සමග සිල්ලර වෙළඳසැලක් පවත්වා ගෙන ගොස් ඇති අතර දිනපතාම රාත්‍රියට වෙළද සැල වසා දැමීමෙන් පසුව අඹුසැමි යුවල වෙළද සැලට පිටුපස කාමරයේ නිදා ගැනීම සිරිතක් කොට ගෙන තිබේ.
පුතා රාත්‍රියේ වෙළද සැල වසා දමා නිවසට ගොස් නිදා සිට පසුදින අලුයම වෙළද සැල විවෘත කිරීමෙන් පසුව සිය පියාගේ හා මවගේ මළ සිරුරු දෙක දැක ඒ බව සෙට්ටිකුලම පොලිසියට දැණුම් දී තිබේ.
වහාම පොලීසිය පැමිණ මළ සිරුරු දෙක පරීක්ෂා කොට බැලීමේදී ඔවුන් දෙදෙනා කිසියම් ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇති බවට සලකුනු හමු වී ඇති අතර අවට ප්‍රදේශයේ කළ සෝදිසියකදී මළ සිරුරු අසලම තිබී ලේ තැවරුණු උල් පිහි තුනක් පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබේ.
මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ සෙට්ටිකුලමේ පදිංචි 72 හැවිරිදි පසුපති වර්ණකුලසිංහම් සහ ඔහුගේ බිරිය වන 68 හැවිරිදි කනකලක්ෂ්මි යන දෙදෙනා ය.
සිද්ධිය වූ ස්ථානයට පොලිස් සුනඛයින් රැගෙන විත් සෙට්ටිකුඅම පොලිසිය පරීෂණ ආරම්භ කොට තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැත.
මෙම අඹුසැමි යුවල නැවතී සිටි කාමරයේ තිබූ පවුම් පහකට මදක් වැඩි ස්වර්ණාභරණ කීපයක් අතුරුදහන් වී ඇති බව පුතා විසින් පොලීසියට ප්‍රකාශ කොට ඇත.
මළ සිරුරු දෙක පශ්චාත් මරණ පරීෂණ කටයුතු සදහා සෙට්ටිකුලම රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සෙට්ටිකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.