මනම්පිටිය – නිමල් ජයරත්න
පොලොන්නරුව මහවැලි සී කලාපයේ නුවරගල ගොවි සංවිධාන හා ගොවි ජනතාව තුන්සීයකට අධික පිරිසක් නුවරගල මැදගම්පිටිය වෙල් යායට එක් වී අද උදේ (07) උද්ඝෝෂණයක නිරත වූහ.
ඔවුහු සිය ගොවි බිම් අස්වැද්දීමට පොහොර ඉල්ලති. මිනිස්සුනගේ ජීවිත හා බැඳුණු මේ මහා සංකීර්ණය උද්දච්ච පාලකයින්ට හා ඔහුගේ අසීමිත මොඩකම් මැද සිහින දකින්නට උත්සාහ කරන උමතු කෘෂිකර්ම ඇමතිට තේරෙන්නේ නැත.
ලබන 20 දා මහ කන්නයට වතුර ලැබෙන්නේය. මේ ගොවීන් කියන්නේ පොහොර නිශ්පාදනය කිරීම අවාට ගියාට කළ හැකි දෙයක් නොවන බවය. වී ගොවිතැනට අවශ්‍ය නිශ්චිත ප්‍රමිතියට තමන්ට කාබනික පොහොර නිශ්පාදනය කරගැනීම කාබනික පොහොර නිශ්පාදනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හෝ පුහුණුව ලබා දුන් නැති බවය.

“ ඇයි මහත්තයො මෙහෙම කරන්නෙ. මේ මිනිස්සු ඇයි මේ තරම් උද්දච්ච. මේ පොළොව එකපාරට කාබනික ගොවිතැනට හුරු කරගන්න බෑ. අවුරුදු ගාණක් රසායනික පොහොරවලට හුරු කරපු පොළොවක් එකපාරටම කාබනික ගොවිතැන් කරන්නෙ කොහොම ද?. අපි කියන්නෙ අපි මේ ගොවිතැනට හුරු වෙන්නම්. අපිට කාලයක් දෙන්න කියන එක විතරයි.“
ගොවි නියෝජිතයෙක් ලංකාසරට පැවසීය. ඔහු කියන්නේ පොහොර නොදී වතුර දුන්නත් මහවැලි සී කලාපයේ හෙක්ටයාර 22000ක ගොවිතැන් අත්හැරෙන බවය.
“බඩගින්නෙ මේ පොළොවෙ මැරෙන්න දෙන්න එපා. අපි ඉල්ලන්නෙ රස්සාවල් නෙමෙයි. අපේ දාඩිය මහන්සියෙන් මේ පොළොව අස්වද්දන්න ඕන යෙදවුම් ටික. ඒකත් සහනාධාර විදිහට දෙන්න එපා. අපි සල්ලි දීලා ගන්නම්. පොහොර ටික දෙන්න. “
මිනිස්සු එක එකා නොයිවසිලිමත්ව කතා කරති.
“කාබනික වගාව වෙනස්ම දෙයක්. අපට කාබනි පොහොර දුන්නත් ඒ කාබනික පොහොරවලින් ගොයමට ඕන කරන පෝෂණය තියනවද කියලා අපි කිසි කෙනෙක් දන්නෙ නෑ. ඒ එක්ක එන වල් මර්ධනය කරන්න ඕන බෙහෙත් නෑ. ඒ ගැන ක්‍රමයක් නෑ. අපිට මේ ගොවිතැනට හුරු වෙන්න කාලයක් අවශ්‍යයයි.
ඔවුන් කියන්නේ ගොවිතැන ගැන හරි තක්සේරුවක් නොකර ගොවීන්ව විනාශ කරන මෙවැනි ආණ්ඩු අවශ්‍ය නැති බවය. එක් පුද්ගලයෙකුගේ අසීමිත උද්දච්චකම ඉතා යහපත් සංකල්පයක් මරණ වරෙන්තුවක් කර ඇති අයුරු නුවරගල මිනිස්සු අපට කියා දෙති. තවත් බොහෝ ගොවි සංවිධාන එලියට බසින්නට නියමිතව සිටිති.
අපට දුක මේ අසරණ මිනිසුන් පෝලිමේ ඇවිත් මහා අපේක්ෂා සහිතව පත් කරගත් ආණ්ඩුවක් ඒ මිනිස්සුන්ගේ ජීවිතයේ හුස්මපොද සමග සූදු කෙළින ආකාරය දකින විටය.







