ජයග්‍රහණ බොහොමත්ම හිඟය. මේ වකවානුවේ මාලදිවයින පරාද කරනවා කියන්නේත් මහා උත්කර්ෂයකි. එවන් පසුබිමක අපි බංගලාදේශය පරදවා කඩුළු 05කින් දිනුම්ය. අසියානු කුසලාන තරගාවලියට අපි එන්නේ එහෙමය. ඒ ගැන කතා කිරීමත් ඒ ජයග්‍රහණය දැකීමත් සතුටුය.
ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 39ක් තුළ දී එම ඉලක්කය සපුරා ගත්හ.
ඒ වනවිට කඩුළු 05ක් දැවී ගොස් තිබිණි.
බංගලාදේශ කණ්ඩායම ලකුණු 164කට දැවී යද්දීත් අප කීවේ ශ්‍රී ලංකාවට මේ තරගය පහසු එකක් නොවනු ඇති බවය. පළමු පන්දු ඕවර කීපයේ බංගලාදේශ කණ්ඩායම ඒ බව සනාථ කළහ. පැතුම් නිස්සංක ලකුණු 14කට දැවී ගියේය. ඒ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට කඩුළු රකින මුෂ්ෆිකර් රහීම් අතට උඩ පන්දුවක් ලබා දීමෙනි.
දිමුත් කරුණාරත්න තමන් මුහුණ දුන් තුන් වැනි පන්දුවේ දී ලකුණු එකකට තස්කින් අහමඩ් ගේ පන්දුවකට කඩුල්ල කුඩු කරගත්තේය. ලකුණු 05ක් ලබා තිබිය දී කුසල් මෙන්ඩිස් ගේ මැද ඉන්න බිඳ දමමින් බංගලාදේශ නායක ශකීබ් අල් හසන් පන්දුව යොමු කළේය. කුසල් ලකුණු 05කි. කඩුළු 03ක් බිඳ වැටෙන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 43කි. එහෙත් තුන්වන කඩුල්ල වෙනුවෙන් පැමිණි සධීර සමරවික්‍රම පන්දු 77ක දී සංයමයකින් යුතු ලකුණු 54ක් රැස් කළේය. ඔහු හතරේ පහර 06ක් එල්ල කළේය.
කණ්ඩායමේ බලාපොරොත්තුවක් වූ ධනංජය ද සිල්වා මැද පෙළ ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් යොමු කළද ඔහු ලකුණු 02කට දැවී යන විට චරිත් අසලංක ඒ බර සිය උරමතට රැගෙන නායක දසුන් ශානක සමග තරගය ජයග්‍රහණය කරා ගෙන ගියේය. චරිත් පන්දු 92ක් තුළ හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 62ක් නොදැවී රැස් කළේය.
ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 39ක දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. බංගලාදේශය වෙනුවෙන් ශකීබ් අල් හසන් ලකුණු 29ට කඩුළු 02ක්, ටස්කින් අහමඩ්, ෂොරිෆුල් ඉස්ලාම්, මේදි හසන් කඩුල්ල බැගින් ලබා ගත්හ.
බංගලාදේශ ඉනිමේ දී කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 50 ක්‍රීඩා කළේ නැත. පන්දු ඕවර 42.4 ක දී ලකුණු 164කට සියලු දෙනා දැවී ගියහ.
බංගාලදේශය වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ නජ්මුල් හොසයින් ෂන්ටො පන්දු 122ක දී ලකුණු 89ක් ලැබුවේය. ඊට හතරේ පහර 07ක් අතුළත් වූයේය.
ටොවිඩ් හ්‍රිඩොයි පන්දු 41ක දී ලකුණු 20ක් ද මොහොමඩ් නයිම් පන්දු 23ක දී ලකුණු 16ක් ද ලැබුවේය. අනෙක් කිසිවෙක් ලකුණු 06 සීමාව පසු කළේ නැත.
විශිෂ්ට පන්දු යැවීමක යෙදුන මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 8ක දී ලකුණු 19ට කඩුළු 02ක් ද, මතීෂ පතිරණ ලකුණු 32ට කඩුළු 04ක් ද ලැබුවේය.
ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, දසුන් ශානක කඩුල්ල බැගින් බිඳ හෙලුවේය.
තරගයේ වීරයා බංගලාදේශ ඉනිම බිඳ දැමූ මතීෂ පතිරණය .