ශ්‍රියානි විජේසිංහ –
අප රටේ වාර්ෂිකව එළවලුවලින් සියයට 19ක් හා පලතුරුවලින් සියයට 21ක් නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් පමණ හා පලතුරු මෙට්‍රික් ටොන් 290,151ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහනයේ දී රටේ ජනතාවගේ පාරිභෝජනයට අහිමි වෙතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත්, ලබන අස්වනුවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් පසු අස්වනු හානිය නිසා රටට අහිමිවන බව සඳහන් කළේය.
එමෙන්ම අපතේ යන ආහාර ප්‍රමාණය ද නාගරිකව ගත් කළ ඉතා ඉහළ මට්ටමක පවතින අතර 2021 දී අප රටේ අපතේ ගිය ආහාර ප්‍රමාණය සළකා බැලූ විට එය තවත් පුද්ගලයින් මිලියන 10කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් බව ද හෙළිදරව් වී ඇත.







