පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබූ තොටලඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධව මෝදර ගැමුණු සේවා බලඇණි කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වරයා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේය.
මේ වනවිට මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෝදර හමුදා කඳවුරේ සෙබලුන් 13ක් හා එල්ලේ ක්‍රීඩකයාගේ බිරියවන ග්‍රාම සේවා නිලධාරිණිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කඳවුරු භාර හිටපු අණ දෙන නිලධාරියා දැනුවත්ව සිට ඇති බවත්, ඔහුගේ උපකාර මේ සඳහා ලැබී ඇති බවත් විමර්ශන නිලධාරීහු මුල සිට සැක කළහ.
ඝාතනය කළ එල්ලේ ක්‍රීඩකයාගේ යතුරුපැදිය කඳවුර තුළට රැගෙන විත් එය කැබලි කර කැලනි ගඟට දැමීම සිදුකර තිබුණේ ඔහුත් දැනුම්වත් බවට වූ සැකය මත මෙම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් ඉල්ලා තිබිණි.
ඊයේ වෙන තුරු මෙම නිලධාරියාව යුද හමුදා මිල්ටරි පොලිස් ඒකකය තුළ රඳවාගෙන විමර්ශන කටයුතු කර ඊයේ (29) පොලිසියට භාර දී තිබේ.
එල්ලේ ක්‍රීඩකයාගේ බිරිය වූ මට්ටක්කුලිය ග්‍රාමසේවකවරිය මෝදර කඳවුරේ කෝප්‍රල්වරයෙක් සමග ගොඩනගා ගත් අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු වී තිබිණි.
මෙම අනියම් සම්බන්ධය එල්ලේ ක්‍රීඩකයාගේ අතටම හසු වූ පසු ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව ඔහු සිය බිරියට පහර දීම නිසා උරණ වූ ඇයගේ අනියම් සැමියා හමුදා පිරිසක් සමග එක්ව මෙම ඝාතනය සිදු කර තිබිණි.
මෙම කෝප්‍රල්වරයා සහ හමුදා පිරිස එල්ලේ ක්‍රීඩකයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විට මග රැක ඔහුව පැහැරගෙන මාදම්පිටිය කනත්ත අසල ඇති කසල අංගනය ආසන්නයේ දී ඔහුට පහර දී ඝාතනය කර සිරුර සේදවත්ත ප්‍රදේශයට ප්‍රවාහනය කර කැලණි ගඟට දමා තිබේ.
යතුරුපැදිය පදවාගෙන කඳවුර තුළට පැමිණ එය කැබලි කර කඳවුර අසලින් කැලනි ගඟට දමා ඇත.
දින ගණනාවක පසු කුණු වූ මෙම මළ සිරුර ගොඩගසන්නේ කාක දූපතෙනි. ඒ අවස්ථාවේ දී මෙම කාන්තාවම ගොස් සිරුර හඳුනාගෙන ඇත.
සිද්ධි පිළිබඳ වැඩි දුරටත් පරීක්ෂණ පැවැත්වේ.