-නෙත් –
මරණීය දණ්ඩනයට යටත් වී දැනට බන්ධනාගාරගතව සිටිනා විදානගේ සමන් කුමාර නොහොත් වෙලේ සුදා ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
ඔහුට මරණීය දණ්ඩනය නියම වී තිබුණේ මත්කුඩු ජාවාරම් කිරීමේ වරදටය. රිට් පෙත්සම මගින් වෙලේ සුදාගේ මව වූ රජගල්ගොඩ ගමගේ මලනී අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණේ බන්ධනාගාරය තුළදී තම පුතාගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසය.
තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඇතුළු දෙදෙනෙකු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව මීට කිහිප දිනකට පෙර ඝාතනය කර ඇති බවත් ඒ අනුව තම පුතාගේ ජීවිතය පිළිබඳ බියක් තමාට ඇති බවත් පෙත්සම්කාරිය පෙත්සමින් පවසා සිටියි.