එක් මහජන නියෝජිතයකු දියවන්නාව තරණය කරවීම සඳහා මහජනතාවගේ මුදල්වලින් රුපියල් තුන්කෝටි හැත්තෑ හත්ලක්ෂයක් පමණ වැයවන බවට ගණන් බලා ඇත.
මෙවර මහමැතිවරණය සඳහා පෙර නොවූ විරූ අතිවිශාල වියදමක් දරන්නට රජයට සිදුවී ඇති අතර එයට හේතු වී ඇත්තේ ඡන්ද දායකයන් ප්‍රමාණය වැඩිවීම මෙන්ම කොවිඩ්-19 වසංගතය හමුවේ අනුගමනය කිරීමට සිදුව ඇති උපදෙස්, පිළිවෙත් නිසා අතිරේක පිරිවැයක්ද දරන්නට සිදුවීමය.
ඒ අනුව හෙට පැවත්වෙන මහමැතිවරණය සඳහා රුපියල් කෝටි 850ක පමණ මුදලක් රජයට වැයකිරීමට සිදුව ඇති අතර එක්කෝටි හැටදෙලක්ෂයක් ඉක්මවන ඡන්ද දායකයන් ප්‍රමාණය සැලකීමේදී එක් ඡන්දයක් වෙනුවෙන් රුපියල් 523ක මුදලක් වැය වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙවර මැතිවරණය සඳහා වැයවන සමස්ත වියදම 2015 වසරේ මැතිවරණ වියදමට වඩා රුපියල් කෝටි 553කින් පමණ වැඩිව තිබේ.
එනම් 2015 වසරේ ගණන් බලා තිබූ සමස්ත වියදම රුපියල් කෝටි 300කට (297,53,98,622) ආසන්නය. ඒ අනුව එය 2015 වසරේ මැතිවරණ වියදමට වඩා සියයට 183ක වැඩිවීමකි.
2015 වසරේ එක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 225 සැලකීමේදී එක් මන්ත්‍රීවරයකු තෝරාගැනීම සඳහා 2015 වසරේදී රුපියල් 198ක් මහජන මුදල් වැයවී ඇති අතර එය මෙවර රුපියල් කෝටි 523ක් වී ඇත්තේ එම සමස්ත මැතිවරණ වියදම් වැඩිවීම නිසාය.
රටේ නිති සම්පාදනය කරන රටේ සහ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා තීන්දු කීරණ ගන්නා තැනට වගකීමක් සහිත පුද්ගලයන් පත්කර යැවීමේ වගකීම මෙම අතිවිශාල මුදල් කන්දරාව ගැන සැලකීමේදී අප කල්පනා කළයුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.