අමායා උඩුවැරැල්ල –
අද එනම් මැයි 25 වන සෙනසුරාදා නේපාලයේ ඡායාරූප මාධ්‍යවේදිනියක් සහ කඳු නගින්නියක් වන පූර්ණිමා ශ්‍රෙස්තා, එක් කඳු නැගීමේ වාරයක් තුළ තුන් වතාවක් එවරස්ට් කඳු මුදුනට ළඟා වූ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසගත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පූර්ණිමා මෙවර මීටර් 8848.86 ක එවරස්ට් කඳු මුදුන මුලින් ම තරණය කර තිබුනේ පසුගිය මැයි 12 වන දා යි. ඇය යළිත් මැයි 19 වන දා පසංග් නම් ෂර්පා සමගින් කඳු මුදුනට ළඟා වී තිබූ අතර තුන් වන වරටත් අද ඇය එවරස්ට් කඳු මුදුන තරණය කළ බව ගවේෂණ කටයුතු සංවිධානය කළ “එයිට් කේ එක්ස්පෙඩිෂන්” හි ගවේෂණ අධ්‍යක්ෂ පෙම්බා ෂර්පා පවසා තිබෙනවා.
කඳු නැගීමේ ඉතිහාසයේ ඕනෑම කඳු නගින්නෙකු එක් වාරයක් තුළ තුන් වතාවක් එවරස්ට් වෙත ළඟා වූ පළමු අවස්ථාව මෙය වන අතර මෙය පූර්ණිමා එවරස්ට් තරණය කළ සිව්වැනි අවස්ථාවයි. ඇය පළමු වරට එවරස්ට් තරණය කර ඇත්තේ 2018 වසරේදීයි.
ඇය 2017 වසරේ පැවති එවරස්ට් මැරතන් තරගය ආවරණය කිරීම සඳහා එවරස්ට් මූලික කඳවුරට පැමිණ තිබූ අතර එයින් පසු ඇය කඳු තරණය කිරීමට ආකර්ෂණය වූ බව පූර්ණිමා පවසා තිබෙනවා.
එවරස්ට් තරණයට අමතරව, පූර්ණිමා මනස්ලු, අන්නපූර්ණ, ධෞලගිරි, කන්චෙන්ජුන්ගා, ලොට්සේ, මකලු සහ කේ2 කන්ද ඇතුළු ප්‍රබල කඳු මුදුන් ද ජයගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.