ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෙම හිමිකම් පෑමේ ඉල්ලීම 2023 අප්‍රේල් 25 වන දින ගොනු කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර පවසා ඇත.
මේ පිළිබඳ නඩු සම්මන්ත්‍රණ විභාගය මැයි 15 වනදා සිංගප්පූරු මහාධිකරණය (සාමාන්‍ය අංශය) හමුවේ කැඳවන ලද අතර, එම නඩුව පිළිබඳ වැඩිදුර පසු විපරමක් ජුනි 01 වනදා පැවැත්වීමට නියමිතය.
සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි (SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට සලකා බලමින් සිටී.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇත.
2021 මැයි 20 වන දින සිංගප්පූරු ධජය සහිත මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ගිනිගෙන ගිලී ගියේය. අනතුරුදායක භාණ්ඩ සහිත කන්ටේනර් 81 ක්, නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, ඉන්ධන ටොන් 348 ක් සහ නර්ඩ්ල්ස් (ප්ලාස්ටික් නිෂ්පාදන සෑදීමට භාවිතා කරන) ලෙස හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් කැට බිලියන 75 ක් සහිත කන්ටේනර් 1,488 ක් එම නෞකාවේ රැගෙන යමින් තිබිණ.
එතැන් සිට මෙම ව්‍යසනය ශ්‍රී ලංකාවේ සංවේදී වෙරළබඩ පරිසරයට, ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති අතර සාගර ජීවීන් විශේෂ විශාල ප්‍රමාණයක විනාශයට හේතු විය.







