අමායා උඩුවැරැල්ල –
ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන ටාටා සමාගම ( TATA ) විසින් එංගලන්තයේ සමර්සෙට් හි බ්‍රිජ්වෝටර් නගරයේ ඔවුන්ගේ නවතම බැටරි කර්මාන්ත ශාලාව ඉදිකරන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සඳහා ඔවුන් පවුම් බිලියන 4 ක ආයෝජනයක් ද සිදුකර තිබෙනවා. මෙමගින් එම කලාපයට රැකියා 4,000 ක් පමණ ගෙන එනු ඇති.
ටාටා සමාගමේ බැටරි ව්‍යාපාරය වන අග්‍රටාස් ( Agratas ) ඉන්දියාවෙන් පිටත ඉදිකරන පලමු කර්මාන්ත ශාලාව මෙයයි. සමාගම විසින් නිකුත් කළ නිවේදනයක දක්වා තිබුනේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමට අදහස් කරන බවයි.
ඉදිකිරීම සම්බන්ධ මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් එහි අත්තිවාරම් පිහිටුවීමේ කටයුතු ද ආරම්භ වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වන අතර බැටරි නිෂ්පාදනය 2026 දී ආරම්භ කිරීමට නියමිත යි.
එක්සත් රාජධානිය ඇතුළු මෝටර් රථ කර්මාන්තයේ නියැලෙන්නන් විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීමට වැඩි අවධානයක් යොමුකර ඇති නිසා එම වාහන ධාවනය කිරීමට අවශ්‍ය වන බැටරි වඩාත් වැදගත් මෙවලමක් බවට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ලෙස 2030 වසරේ ආරම්භය වනවිට මෙම කර්මාන්ත ශාලාව මගින් එක්සත් රාජධානියේ මෝටර් රථ අංශයට අවශ්‍ය බැටරි නිෂ්පාදන ධාරිතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සැපයීමට දායක වනු ඇති.
කර්මාන්ත ශාලාව වාර්ෂිකව 40GWh බැටරි සෛල නිෂ්පාදනය කරනු ඇති බවත් එය ආසන්න වශයෙන් වාහන 500000 කට පමණ ප්‍රමාණවත් වන බව වැඩිදුරටත් සඳහන්.







