ඉන්ධන බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය දිය යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර ඉන්ධන ලබාගෙන බෙදා හැරීමේ සැලැස්මක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළේය. විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම වාර්තාව ජූලි 12 වැනිදාට පෙර ලබාදෙන ලෙස නීතිපතිවරයාට තවදුරටත් නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය කරන ලද්දේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවය.
මීට පෙර අවස්ථාවකදී මෙම පෙත්සම් දෙක ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(4), 14(1)(g) (h) සහ 14A වගන්ති ප්‍රකාරව ඉදිරියට යාමට අධිකරණය අවසර ලබා දුන්නේය.
ආහාර අත්‍යවශ්‍ය ඖෂධ, ගෑස්, ඉන්ධන, විදුලිය, කිරිපිටි ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම සඳහා අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වකරුවන් සහ ස්වාධීන විශේෂඥයන් ගෙන් වහාම අදහස් විමසා කටයුතු කරන ලෙසට අමාත්‍ය මණ්ඩලයට නියෝග කරන ලෙස ඉල්ලමින් ශ්‍රි ලංකා නීතීඥ සංගමය මඟින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබුණි.
එම සංගමය වෙනුවෙන් සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, හිටපු ලේකම් රජීව් අමරසූරිය, භාණ්ඩාගාරික රාජින්ද් පෙරේරා සහ සහකාර ලේකම් පසිඳු සිල්වා විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.