දිනසේන රතුගමගේ –
යාපනය මුහුදු සීමාවට පැමිණ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 22 දෙදෙනා මේ මස 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් ඒ පිරිසට එරෙහිව වෙන වෙනම චෝදනා තුනක් ගොනු කරන ලෙසත් යාපනය ඌර්කාවතුරේ මහේස්ත්‍රාත් එස්. ගජනිතිබාලන ධීවර නිලධාරීන්ට ඊයේ (10) නියෝග කොට තිබේ.
ඉන්දියාවේ රාමේස්වරන් ප්‍රදේශයේ සිට ටෝලර් යාත්‍රා තුනකින් පැමිණ යාපනය කරෙයිනගර් මුහුදේ මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් මෙම ධීවරයින් අත් අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේදි නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණීම සම්බන්ධයෙන් පොදු චෝදනාවක්ද බෝට්ටු පදවන ලද බෝට්ටු කරුවන් තුන් දෙනාට හා ඒවායෙහි අයිතිකරුවන්ට එරෙහිව වෙනම චෝදනාද මීට පෙර යාපනය අධිකරණයෙන් වසර පහක අත්හිටවූ සිර දඩුවමක් නියම වී සිටියදී යළි නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණි ඉන්දීය ධීවරයාට තවත් චෝදනාවක් ද ගොනු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී ධීවර නිලධාරින්ට නියෝග කළේය.
ඔවුන් පැමිණි යාත්‍රා තුන රාජසන්තක කෙරෙන බවත් ඒවා නඩුව හමාර වන තුරු නාවික හමුදාව බාරයේ තබන ලෙසත් මෙහිදී නියෝග කළේය.
මේ මස 22 දා ඉන්දීය ධීවරයින් යළි අධිකරණයට ඉදිරිපත් කරණ අවස්ථාවේදී එම චෝදනා ගොණු කරණ ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මේ පිරිස බන්ධනාගර ගත කිරීමට පෙර පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරණ ලෙසද නියෝග කළේය.