ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවරයින් 88 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා DMK පක්ෂය විසින් ඉල්ලා සිටි කල් තැබීමේ යෝජනාව කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඊට විරෝධය දක්වමින් එම පක්ෂය අද (10) ලෝක් සභාවෙන් පිටව ගියේය.
තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් නායකත්වය දරණ DMK පක්ෂයේ මන්ත්‍රී ටී.ආර් බාලු සභාවෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත මෙසේ පවසා තිබිණි. “මම අද කල්තැබීමේ යෝජනාවක් ලබාදී තිබුණා, DMK පක්ෂය වෙනුවෙන් අපිට අවශ්‍ය වුණා ධීවරයින්ගේ ප්‍රශ්නය ගැන සභාව තුළ ප්‍රශ්නය මතු කරන්න. කථානායකතුමා අපිට ඉඩ දෙන්නේ නැහැ, ඒකයි අපි එළියට ගියේ,”
“ මේ සියලු ධීවරයින් මසුන් ඇල්ලුවේ අපේ මුහුදු තීරයෙ පමණයි. ශ්‍රී ලංකා නාවික හමුදාව පෙන්වන්නේ කුරිරු ආකල්පයක්. ඔවුන් අපේ ධීවරයින් 88 දෙනාගෙන් කිසිවෙක් නිදහස් කර නෑ. ඉන්දීය රජය මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන්නෙ ඇල්මැරුණු ස්ථාවරයක්.,” ඔහු පැවසීය.
මේ අතර තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ද ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටින ධීවරයින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කර තිබේ.
පසුගිය දින 28 තුළ ඉන්දීය ධීවරයින් 88 දෙනෙකු සමග බෝට්ටු 12ක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ස්ටාලින් එම ලිපියේ සඳහන් කර තිබේ.







