දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් යළිත් වරක් විශාල වශයෙන් උතුරු මුහුදට පැමිණීමට විරෝධය පල කරමින් මන්නාරමේ ධීවරයෝ දහස් ගණනක් මන්නාරම නගරයේ පෙළපාලි යමින් ඊයේ (23) විරෝධය දැක්වූහ.
මන්නාරමේ ධීවර සංගම්වල විරෝධතාවයට සහය දක්වමින් මන්නාරමේ එක්සත් වෙළඳ සංගමය ඔවුන්ගේ සියලුම වෙළද සැල් වසා දමා ඉන්දීය ධීවරයින්ට එරෙහි විරෝධතාවයට සහය දැක්වූහ.
මන්නාරමේ කිතුණු පුජකවරුද ධීවර සංගමයේ විරෝධතාවයට සහය දක්වමින් ධීවරයින් සමග මහමගට බැස විරෝධතා පෙළපාලියේ ගමන් කළහ.
මන්නාරමේ ධීවර සංගම් නියෝජිතයන් කියා සිටින්නේ නාවික හමුදාව යාපනය දෙසට පැමිණෙන ඉන්දීය ධීවරයන් වැඩි වශයෙන් අත් අඩංගුවට ගන්නා විට ඉන්දීය ධීවරයන් විශාල පිරිසක් මන්නාරම් මුහුදට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරණ බවයි.
කෙසේ හෝ නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර ආක්‍රමණය වහාම නතර කරන ලෙස ඉල්ලමින් මන්නාරමේ විරෝධතාවයට සහභාගී වූ පිරිස රජයටත් නාවික හමුදාවටත් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයටත් යැවීම සඳහා ලිපි මන්නාරම දිසාපති කාර්යාලය වෙත බාර දී තිබුණි.