ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සම්බන්ධව අදහසක් නැති බවත් අවශ්‍ය නම් එම ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඔහු මෙම ප්‍රකාශ කළේ ඊයේ (17) රතුඉර සංවාදාත්මක දේශපාලන වැඩසටහනට එක් වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් කළ ඉල්ලීමකට පිළිතුරු දෙමිනි.
මේ ප්‍රතික්ෂේප කිරීම ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් තමන් කිසිසේත් බලාපොරොත්තු නොවුන බවත්, තමන් සමග විපක්ෂයේ එකම කඳවුරක සිට රාජ්‍ය පාලනයේ විනිවිද භාවය පිළිබඳ විශාල දේශපාලන සටන් පාඨ ප්‍රමාණයක් බිහි කළ ජාතික ජන බලවේගයේ හැසිරීම මෙය නම් මේ ආණ්ඩුව අනෙක් කිසිම ආණ්ඩුවකින් වෙනස් නොවන බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ඔහු කීවේ මේ ප්‍රකාශ ඔස්සේ ඇමතිවරයා අප්‍රකාශිතව දන්වන්නේ ආණ්ඩුවට ප්‍රසිද්ධියේ හෙළි කළ නොහැකි සන්දර්භයක් මේ ගිවිසුම් තුළ ඇති බව යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය. රටේ උත්තරීතර යැයි ප්‍රකාශිත ආයතනයවන පාර්ලිමේන්තුවට මෙම ගිවිසුම් ඉදිරිපත් කිරීම මගහැරීම යළිත් ප්‍රශ්න කරනු ඇත්තේ මේ ආණ්ඩුවේ අවංක භාවය යැයි ද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේය.







