ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් 228 සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානායක් ලබා දී තිබේ. මෙම ගුවන් යානය ලැබෙන්නේ ලංකාවේ ඉල්ලීම පරිදි ඉන්දියාවෙන් ලබා දිමට බලාපොරොත්තුවන ඩෝනියර් ගුවන් යානා 2න් පළමු ගුවන් යානය ලෙසය.
මෙම යානය ලැබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2018 ජනවාරි මස 09 වන දින නවදිල්ලියේ පැවති දෙරටේ ආරක්ෂාව පිළිබද සාකච්ඡාව අතරතුරදී ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් බව ගුවන් හමුදාව කියයි.
ගුවන් හමුදාවට අනුව ශ්‍රී ලංකා රජයේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් – 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට එකඟ වී ඇත. ඒ නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීම සදහා වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය වන බැවින් බව ද පැවසේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුව මෙම ප්‍රථම දෙවසර අවසානයේදී නව ඩෝනියර් – 228 සමුද්‍රීය මුර සංචාර ගුවන් යානාවක් නොමිලේ ලබාදීමට ඉන්දීය රජය සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකා රජය විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නියමයන් සහ කොන්දේසි මත තවත් නව ගුවන් යානයක් ලබාදීමට නියමිතව ඇත.
ඩෝනියර් – 228 යනු කෙටි ගුවන් ධාවන පථයක් මත ගුවන් ගත කිරීම් සහ ගොඩබෑම් සදහා විශේෂිත වු හැකියාවකින් යුත් ටර්බෝප්‍රොප් (Turboprop) වර්ගයේ ද්විත්ව එන්ජින් (Twin-engine) සහිත බහුකාර්ය සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානයකි (Multirole Light Transport Aircraft).
එය 1981 සිට ජර්මනිය තුළ නිෂ්පාදන කටයුතු සිදු කරන ලදී. ජර්මනියේ ඩෝනියර් GmbH සමාගම විසින් 1981 – 1998 කාල සීමාව තුළ මෙම ගුවන් යානා 245 ක් පමණ නිපදවා තිබේ. පසුව හින්දුස්ථාන් ගුවන් යානා සමාගම (Hindusthan Aeronautics Limited) 1993 සිට ඩෝනියර් GmbH බලපත්‍රය යටතේ මෙම ගුවන් යානා නිෂ්පාදනය කරනු ලබයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ප්‍රධානත්වයෙන් 2022 අගෝස්තු මස 15 වන දින ඩෝනියර් – 228 වර්ගයේ ප්‍රථම යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමට නියමිතව ඇත.
මෙම සමාරම්භක අවස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) උපදෙස් මත සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ අධීක්ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වීමට නියමිතව තිබේ.