දැඩි අවධානයකට සහ ආන්දෝලනයකට ලක් වෙමින් පසුගියදා හම්බන්තොට වරායට පැමිණි යුවාන් වෑන්ග් 5 (Yuan Wang 5) අධි තාක්ෂණික චීන නෞකාව ඊයේ (22) නිහඬවම හම්බන්තොට වරායෙන් පිටත් ව ඇත.
මෙම නෞකාව ශ්‍රි ලංකාවට පැමිණිමෙන් පසුව ඉන්දීය චන්ද්‍රිකා තුනක් මඟින් එම නැවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැඩි නිරීක්ෂණයට ලක්ව ඇති බවත් මෙම නැවේ පවතින චන්ද්‍රිකා නිරීක්ෂණය කිරීමේ සංඥා නිකුත් කිරීමට එම චන්ද්‍රිකා මඟින් යම් යම් බාධා ඇති කළ බවට තහවුරු නොකළ තොරතුරු පවතින බවත් ඉන්දීය ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඉන්දියාව විසින් මේ වනවිට කක්ෂගත කර ඇති GSAT-7, EMISAT & RISAT යන චන්ද්‍රිකා මඟින් නෞකාව දැඩි නිරීක්ෂණයට ලක් කොට තිබේ.
නැව ඉන්දියන් සාගර කලාපයට ඇතුළු වූ අවස්ථාවේ සිට එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මෙම චන්ද්‍රිකා මඟින් නිරීක්ෂණ ආරම්භ කර ඇත.
එමෙන්ම එම චන්ද්‍රිකා පාලක මැදිරි මඟින් නෞකාව පිළිබඳව පූර්ණ නිරීක්ෂණයක් කර ඇති බවටත් මේ තත්ත්වය නිසා මෙම නෞකාවේ චන්ද්‍රිකා නිරීක්ෂණ පහසුකම්වලට යම් යම් බාධා ඇති කළ බවටත් තොරතුරු පවතින බව සඳහන් වේ.
මෙම නෞකාව හම්බන්තොටට පැමිණි අවස්ථාවේ දී චීන තානාපති කාර්යාලය විසින් මෙරට විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකගේද සහභාගීත්වයෙන් උත්සවයක්ද සංවිධානය කර තිබුණි.