ශ්‍රියානි විජේසිංහ –
මේ වනවිට රට තුළ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම්වල බලපෑම නිසා අප රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
පසුගිය දිනවල පැවැති දැඩි නියඟය නිසා වී වගා කළ අක්කර 70,000ක් පමණ විනාශ වී ඇති අතර දැනට පළාත් කිහිපයකට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා අස්වනු නෙලීමට ආසන්නව තිබූ අක්කර සිය ගණනක වී වගාව ද විනාශ වී තිබෙන බව ඇමතිවරයා පෙන්වාදේ.
එමෙන්ම පහතරට එළවළු වගාවන් ද මේ වනවිට වර්ෂාව නිසා විනාශ වී ගොස් ඇති බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කර තිබු අක්කර 15,000ක පමණ මුං ඇට වගාවන් ද මුළුමනින්ම විනාශව ගොස් ඇති ආකාරයත් ඔහු පෙන්වා දුන්නේය. රටේ සමස්ත මුං ඇට අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ මෙම වගාව තුළින් ලබා ගැනීමට හැකිව තිබුණ බවත් ඇමතිවරයා පැසුවේය.
මේ නිසා ආහාර අහේනි තත්ත්වයක් උද්ගත වීමට ඇති ඉඩකඩ සම්බන්ධව අවධාරණය කළ අමාත්‍යවරයා හැකි පමණින් ගෙවතුවල එළවළු වගා කිරීමේ වැඩ පිළීවෙළක් හා මෙවර මහ කන්නයේ ආහාර බෝග වගා සැලැස්මක් වහාම ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහට උපදෙස් දී ඇත.
සකස් කරනු ලබන ආහාර බෝග වගා සැලැස්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසත්, මේ සඳහා තවත් ආයතන රැසක් සහභාගි කරවා ගැනීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
.දැනට පවතින වර්ෂාව සහික කාලගුනික තත්ත්වය මෙන්ම මීලඟ යල කන්නයේ දී නැවතත් නියඟය සහිත කාලගුණික තත්ත්වයක් එළඹිය හැකි බවට කාලගුණික අංශ විසින් අනාවැකි පළ කර ඇති බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා කෘෂි නිලධාරින් පවසා ඇත.