මනෝප්‍රිය ගුණසේකර –
කුරුම්බා ගෙඩි හතරක් කඩාගෙන බිව්වේ යැයි 17 වියැති තරුණයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි රාජගිරිය ඔබේසේකරපුර මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින් අද (15) නිදොස් කොට නිදහස් කළේය.
සිද්ධිය ඇසින් දුටු එකම සාක්ෂිකරු බව කියන මරා දැමූ තරුණයාගේ මිතුරා ආගිය අතක් නොමැති බව අධිකරණයට වාර්තා වීමත් සමග ඇසින් දුටු එකම සාක්කිකරුවකු හෝ නොමැති වීම හා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති වීම නිසා සියළු චෝදනා වලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
මෙම තීන්දුව ලැබෙන්නේ ඝාතනය සිදුවී වසර 13ක් තිස්සේ කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.
සිද්ධිය ඇසින් දුටු එකම පුද්ගලයා වන මියගිය තරුණයා සමඟ කුරුම්බා බීමට ගිය තරුණයා අතුරුදන් බව මීට පෙර අවස්ථාවක සිතාසි වාර්තාවක් අධිකරණට ඉදිරිපත් කළ වැලිකඩ පොලිසියේ කොස්තාපල් 92942 සෙනෙවිරත්න අධිකරණයට දැනුම් දී තිබිණි. මෙම තරුණයා අතුරුදහන්ව තිබුණේ නඩු විභාගය අතරතුරය.
පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති වීම හේතූවෙන් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ රාජගිරිය ඔබේසේකරපුර මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි එරාජ් ප්‍රනාන්දුය.
වර්ෂ 2008 දෙසැම්බර් මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසේකරපුර මොරගස්මුල්ල ප්‍රදේශයේදී ලියනගේ පුබුදු සංජීව නමැති 17 වියැති තරුණයාට වෙඩි තබා බරපතල තුවාල කොට මරා දැමු බවට විත්තිතරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අතරතුර පළමු සාක්කිකරු වශයෙන් නම් කොට තිබු සිද්ධිය වු අවස්ථාවේ මියගිය පුබුදු සංජීව සමඟ කුරුම්බා කැඩීමට ගිය බව කියන අමිල ප්‍රසාද් නමැත්තා මහෙස්ත්‍රාත් අධිකරණ නඩුව විභාග කරන කාලයේදීම අතුරුදන් බව හෙළි විය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිද්ධිය ඇසින් දුටු එකම සාක්කිකරුවකු හෝ නොමැති වීම හා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියළු චෝදනා වලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
ලංකාදීප –







