-
ඇවන් ගාර්ඩඩ් සමාගම වංගු ගසා හම්බ කරපු ඩොලර් මින් පසු නාවික හමුදාව හරහා කෙළින්ම රජයේ ඒකාබද්ධ ගිනුමට…
මෙන්ම ඔවුන්ව නඩත්තු කරනු ලබන පහසුකම් සපයන්නන් වූ ඇවන් ගාර්ඩ් වැනි පුද්ගලික සමාගම්යටතේ පැවති ජාත්‍යාන්තර වෙළෙඳ නෞකා සඳහා ආරක්ෂාව සලසලන සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්, එම පුද්ගලික සමාගම්වලින් ඉවත් කර නාවික හමුදාවට ස්වාධීනව පවත්වාගෙන යෑමේ බලය රජය විසින් පැවරීමෙන් පසු ගතවුන මාස 04ක කාලය තුළ පමණක් ඇමරිකානු ඩොලර් 598,250ක මුදලක් විදේශ විනිමය ලෙස රජයේ ඒකාබද්ධ ගිනුමට බැර කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාවේ මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා පවසන්නේ පසුගිය මාස 04ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් 323න් මෙම ඇමරිකානු ඩොලර් 598,350ක මුදල ඍජු විදේශ විනිමය ආදායමක් ලෙස රජයට ලැබුණු බවය.
රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මේ බව ප්‍රකාශ කළේ අද ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් සඳහා එක්වෙමිනි. ඔහු පැවසුවේ වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සපයන සන්නද්ධ ආරක්ෂකයින් වෙනුවෙන් අවි ගබඩා පහසුකම් සැපයීමේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සඳහා නාවික හමුදාව මුල් වී කටයුතු කිරීම ආරම්භ කරනු ලැබුවේ 2009 සැප්තැම්බර් මාස 10 වැනිදා සිට බවය.
නමුත් විටින් විට ලැබුණු උපදෙස් මත එම වගකීම පෞද්ගලික අංශ වෙත පැවරූ පසු මෙම මුලු ඩොලර් ආදායම එම පෞද්ගලික ආයතනය විසින් ලබාගෙන ඉතා සුළු මුදලක් රුපියල් වලින් රජයට සහ නාවික හමුදාවට ගෙවූ ආකාරය රියර් අද්මිරාල්වරයා පෙන්වා දුන්නේය.
ඔහු මෙසේ ද පැවසුවේය.
“මීට පෙර මෙම සේවාව සැපයීමේ බලය පෞද්ගලික ආයතනයක් වෙත පවරා තිබූ නිසා මේ ආදායම සම්පූර්ණයෙන්ම ලබාගත්තේ ඔවුන් විසිනුයි. ඔවුන් ඒ ලැබුණ ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම අරගෙන එයින් සියයට විස්සක් වැනි පොඩි කොටසකට අදාල වටිනාකම පමණක් රුපියල් වලින් නාවික හමුදාවට ගෙව්වා.”
“නමුත් 2025 ඔක්තොම්බර් මස 03 දින ඉඳලා මේ 2026 පෙබරවාරි 10 දින දක්වා මාස හතරක කාලයක් තුළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් 323ක් සිදුකරලා එමගින් උපයන ලද ඇමරිකානු ඩොලර් පන් ලක්ෂ අනූ අට දහස් දෙසීය පනහක් ඍජුවම විදේශ විනිමය ආදායම ලෙස ජාතික සුබ සිද්ධිය සඳහා ලබා දීමට හැකියාව ලැබිලා තියනවා.”
“”ශ්‍රී ලංකා නාවික හමුදාව සමග සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කරනු ලබන විදේශීය ආරක්ෂක සමාගම්වල දේශීය නියෝජිතයින් ගිවිසුම්ගත වීම තව දුරටත් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මනා සැලසුමකින් යුතුව සිදුවෙනවා. එහි වර්ධනයක් තියනවා. පුළුල් වීමේ අවකාශයක් තියනවා. මේ වනවිට සමාගම් 32ක් අප සමග ගිවිසුම්ගත වෙලා තිබෙනවා.”
රතු මුහුද ආශ්‍රිතව නාවික ගමණාගමනයට ඇතිවන තර්ජන හේතුවෙන් අවි සහිත ආරක්ෂකයින් එම නෞකාවලට ආරක්ෂාව සපයන බවත්, ඔවුන්ගේ ආයුධ නාවික හමුදාව යටතේ ගබඩා කර තබා රතු මුහුද හරහා යන විට එම ආයුධ සැපයිමටත්, නැවත ලංකාව අසලින් ආපසු යනවිට එම ආයුධ නාවික හමුදාව භාරයේ ගබඩා කිරීමටත් අදාලව මෙම මෙහෙයුම් ප්‍රධාන වශයෙන් දියත් කර ඇත.







