කීර්ති ප්‍රනාන්දු –
ගුවන් යානා ප්‍රමාදයන් දිගින් දිගටම සිද්ධවනවිට මේ සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කර තීන්දුවක් ගැනීමට අවශ්‍ය පසුබිම සකස්කරනවා තබා ඇමතිවරයා සමග සංයමකින් යුතුව සාකච්ඡාවක් පවත්වා ගැනීමටත් බැරි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ කුමක් නිසාදැයි අපැහැදිලි බව ගුවන් තොටුපල වෘත්තීය සමිති පවසයි.
තාක්ෂණික ගැටලුවක් නම්, සේවක ගැටලුවක් නම් මේ ප්‍රමාදවීම් සම්බන්ධව ඊට කඩිනම් තීන්දු ගත හැකි නමුත් ඊට පරිබාහිරව යම් බලවේගයක් මේ ගුවන් ගමන් ප්‍රමාදය සම්බන්ධව තිබේදැයි සැක සිතෙන්නේ ඇමතිවරයාගේ හැසිරිම නිසා බව වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෝ පෙන්වා දෙති.
මේ හැසිරීමේ උද්දච්ඡ මෝඩකමට එහා ගිය සැලසුමක් ඇතැයි තමන්ට සැක සිතෙන බව ද ඔවුහු පවසති. දිගින් දිගටම සිද්ධවන ගුවන් යානා ප්‍රමාදයන් සම්බන්ධව ගුවන් තොටුපල සේවකයින් අමාත්‍යවරයා සමග සමග පුලුල් සාකච්ඡාවක් අපේක්ෂා කළද පසුගිය දා පැවති රැස්වීමෙ දී තමන්ට කැමති දේ පවසා කිසිම පාර්ශවයකට ඇහුම්කන් නොදී ඇමතිවරයා පිටවී ගිය බව කියන ගුවන්තොටුපල වෘත්තීය සමිති ක්‍රියා කාරීන් මේ වනවිට ගුවන්තොටුපල පාලන අධිකාරිය ද අසරණව සිටින බවත් සිදුවන දේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ඇමතිවරයා දක්වන අඩු උනන්දුවත් ඉතා නරක අවසානයක ඉඟි සපයන බව කියති.
ඔවුන් කියන්නේ ආයතනයක් විකුණන්න සැලසුම් හදන්න නම් අමාත්‍යවරයෙක් හෝ අමාත්‍යාංශයක් අවශ්‍ය නැති බවය.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසා ඇත්තේ ගුවන් යානා 24ක් සහිත සමාගමේ දැනට මෙහෙයුම් කටයුතු කරන්නේ යානා 18කින් පමණක් වීම මෙම ගුවන් ගමන් සැලසුම්කරණයට බාධා ගෙන දෙන බවය. තාක්ෂණික ප්‍රශ්න ලෝකයේ හැම ගුවන් සමාගමකටම ඇති බව කියන එම සංගමය මේ තත්ත්වයට ප්‍රධානම හේතුව 2021 දී නව ගුවන් යානා මිලදී ගැනීමට ඉදිරිපත් කළ සැලැස්ම අවලංගු කිරීම බවය.
ගුවන් සේවය රාජ්‍ය ආයතනයක් වුවද මෙම ව්‍යාපාරය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස සිදුකළ නොහැකි බව පෙන්වා දෙන එම සංගමය ක්ෂණික තීන්දු තීරණ නිදහසේ ගැනීමට අවශ්‍ය පරිසරය සමාගමට තිබිය යුතු බව පෙන්වා දෙයි. ව්‍යාපාරය පිලිබඳ කිසිම අවබෝධයක් නැති ඇමතිවරුන් කෝප් කමිටුවල තීරණ ගන්නා විට රටට අත්වන ඉරණම මෙය බව සංගමය කියා සිටියි. අද සවස් වනවිට සියලුම ප්‍රමාදයන් මග හැරෙනු ඇතැයි ද ඔව්හු විශ්වාස කරති.