රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන මූලධර්මවලට අනුකූලව අනාගත උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීම සඳහාවන විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය – 2030” අවශ්‍ය වේ.
මෙම සමාලෝචනය මගින් 2030 දක්වා ගත යුතු පියවර මෙන්ම 2030 සහ ඉන් ඔබ්බට ගත යුතු පියවර යන කරුණු ද්විත්වය ආවරණය කෙරේ.
ඒ අනුව
- ශ්‍රී ලංකාව සඳහා 2030 දී උපායමාර්ගික දැක්ම සහ අභියෝග
- ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතාව
- 2030 සඳහා ආරක්ෂක ප්‍රතිපත්තිමය අරමුණු
- උපායමාර්ගික අභියෝගයට මුහුණ දීම සඳහා බල ඉරියව්ව සහ බල ව්‍යුහය
- පවතින මූල්‍ය තත්ත්වය අනුව කඩිනම් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලීමට නියමිතය.
අභ්‍යන්තර ස්ථාවරත්වය පවත්වා ගැනීමට අමතරව වත්මන් කලාපීය පරිසරය කෙරෙහි ද අවධානය යොමු කරන මෙම ආරක්ෂක සමාලෝචනය සඳහා මේජර් ජෙනරාල් චන්න ගුණතිලක (විශ්‍රාමික ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබෙන කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස රියර් අද්මිරාල් ජේ. ජේ. රණසිංහ (විශ්‍රාමික), මේජර් ජෙනරාල් පී.ආර් වනිගසූරිය (විශ්‍රාමික), එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය (විශ්‍රාමික), ශෂිකලා ප්‍රේමවර්ධන (ශ්‍රී ලංකා විදේශ සේවය), ඩැනියෙල් ඇල්ෆොන්සස් (උපදේශක, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය කටයුතු කරති.
සක්‍රීය සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විදේශ සේවයේ නිලධාරීන්, භාණ්ඩාගාරයේ නිලධාරීන් සහ අදාළ විශේෂඥ දැනුම ඇති අයගෙන් සහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ලේකම්වරයෙකු සහ කාර්ය මණ්ඩලයක් මෙම කණ්ඩායම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ඇත.