ආණඩුවේ බදු ප්‍රතිපත්තිය රත්තරන් බිත්තර දමන කිකිළියගේ බිජු එක්වර ගැනීම සඳහා එම කිකිළිය මරා දැමුවා හා සමාන මුග්ධ තීන්දුවක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසයි.
මෙතෙක් ඍජු බදු අනුපාත ක්‍රියාත්මක වුණේ 6%, 12% සහ 18% වැනි කාණ්ඩවල වුවද මෙවර 6%, 12%, 18%, 24%, 30%, සහ 36% දක්වා වැඩිකර තිබෙන බව මහාචාර්යවරයා පැහැදිලි කළේය.
බදු පැනවීමක් රැකියා නියුක්තියට සහ වියුක්තියට ව්‍යාපාරයක ආදායම් සහ වියදම් කෙරෙහිත් රටේ පොදු ජනතාවගේ පරිභෝජනය කෙරෙහිත් බලපාන බව පෙන්වා දෙන මහාචාර්යවරයා ඉන් එක් අංශයක් ගැන පමණක් අවධානය යොමුකර කරන බදු වැඩිකිරීම රටේ බරපතල ආර්ථික අර්බුදයක් ඇති කරන බව පෙන්වා දුන්නේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් කැඳවූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික,මහාචාර්ය ජනක් කුමාරසිංහ එහිද ී මෙසේ ද පැවසුවේය.

මේ තීරණාත්මක මොහොතේ 2017 අංක 27 දරන ආදායම් බදු පනත සංශෝධනය කිරීමෙන් අපේ ආර්ථිකයට සිදුවිය හැකි තත්වයන් පිළිබඳව යම් පුරෝකථනයක් ලබාගත යුතුයි.
ලෝකයේ ඕනෑම රජයක් තමන්ගේ ආදායම් ලබාගන්නා ප්‍රධාන මාර්ගය හැටියට බදු යොදා ගන්නවා. අපේ රටේ බදු සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත් සහ ඒ මගින් ලබාගන්නා ආදායම්, වියදම් පිළිබඳව කතා කරද්දී බොහෝ පරෙස්සම් වෙනවා. නව බදු පැනවීම තුළ ආර්ථිකයේ අනිකුත් එකිනෙකට සම්බන්ධ විචල්‍යයන් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. උදාහරණයක් හැටියට බදු පැනවීමක් රැකියා නියුක්තියට සහ වියුක්තියටත් බලපානවා. ව්‍යාපාරයක ආදායම් සහ වියදම් කෙරෙහිත් රටේ පොදු ජනතාවගේ පරිභෝජනය කෙරෙහිත් බලපානවා.
මෙයින් මා කියන්නේ එක් විචල්‍යයක වෙනස් කිරීමක් සමස්ත ආර්ථිකයේම හැසිරීමට බලපාන බවයි. බදු වෙනස් කිරීම් කරද්දී හොඳ අවබෝධයකින් කළ යුතුයි. නමුත් නව බදු වැඩිකිරීමේ එකම අරමුණ කෙසේ හෝ භාණ්ඩාගාරයට මුදල් එකතු කර ගැනීම බව පැහැදිලි වෙනවා. එතනින් එහා ආර්ථිකයේ අනෙකුත් විචල්‍යයන්ට සිදුවිය හැකි බලපෑම ගැන අවධානය යොමු කළාද කියන එක බරපතළ ප්‍රශ්නයක්.
මේ බදු අයකරගැනීම හරියට රත්තරං බිජු දමන කිකිළිය විනාශ කිරීම හා සමාන තත්වයක්.
අධි උද්ධමනය නොසලකා ගහන බද්ද
මෙතෙක් ඍජු බදු අනුපාත ක්‍රියාත්මක වුණේ 6%, 12% සහ 18% වගේ කාණ්ඩවල. මෙවර 6%, 12%, 18%, 24%, 30%, සහ 36% දක්වා වැඩිකර තිබෙනවා. වෙනදා ලක්ෂ තුනක් මාසිකව ආදායම් ඉපයූ පුද්ගලයෙක් වාර්ෂිකව රුපියල් 36,000ක බදු ගෙවීමේ බැඳියාවක් තිබුණත් දැන් එය රුපියල් 420,000 දක්වා වැඩිකර තිබෙන්නේ මේ ප්‍රතිශත අනුවයි.
සියලුම ආදායම් කෙසේ හෝ රජයට එකතු කර ගන්න දරන උත්සාහයක් මෙයින් පෙනෙනවා. මාසික පඩි ලබන අය මෙයින් දැඩි පීඩනයකට ලක්වෙනවා. නිල සංඛ්‍යා ලේඛන අනුව උද්ධමනය 95% දක්වා තිබීම ගැන නිසි අවබෝධයකින් තොරව පොදු ජනතාවට බලපාන ව්‍යසනකාරී සියලු ආර්ථික විචල්‍යයන් පවතින අතර මේ ලෙස බදු වැඩිකර තිබෙනවා. සරල වශයෙන් කියනවා නම්, උද්ධමනය තුළ පවා මාසික වැටුප් ලබන්නන්ගෙන් 36%ක ඍජු බදු ආදායමක් ලබාගන්න ආණ්ඩුව ක්‍රියාකර තිබෙනවා.
මේ තත්වය තුළ උභතෝකෝටියක් පවතිනවා. ආණ්ඩුව ලෝකයට කියන්න උත්සාහ කරන්නේ පහළ මැදි ආදායම් තත්වයේ සිට අඩු ආදායම් තත්වයට පහත හෙළන්න කියලයි. ලෝකය හමුවේ අපිව දුප්පත් කියන්න උත්සාහ කරන ආණ්ඩුවම ලංකාව තුළ කටයුතු කරන්නේ දුප්පතුන්ගෙන් උපරිම බදු ලබාගන්නයි. ආර්ථිකය මෙහෙයවීමේදී සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධීතාවයක් මේ ලෙස ප්‍රදර්ශනය වෙනවා.
ව්‍යාපාර විනාශ කරන බදු ගැහිල්ල
අපි දුප්පත් නම්, ආණ්ඩුව කළ යුත්තේ ආර්ථිකය ඉහළ නංවන්න ක්‍රියාශීලීව කටයුතු කිරීමයි. නව ආයෝජන අවස්ථා උදාකර දීමයි. නමුත් ව්‍යාපාර අලුතින් පටන් ගැනීමට ලබාදී තිබූ අවස්ථාවන් පවා අහිමිකරමින් බදු පනවා තිබෙනවා.
ධීවර කර්මාන්තයට සම්බන්ධ බෝට්ටු නිෂ්පාදනය ස්ථාවර වනතුරු යම් බදු සහන කාලයක් ලබාදීම උදාහරණයක්. නමුත් අද ඒ ව්‍යාපාරයත් පටන් ගත් වහාම බදු ගෙවිය යුතුයි කියන තැනට ඇදදමා තිබෙනවා.
මේ නිසා නව ව්‍යාපාර පටන් ගැනීම අධෛර්යමත් කරනවා. පසුගිය කාලය පුරාම නව ආදායම් සහ අලුත් ව්‍යාපාර ආරම්භ කර නොගත් මේ ආර්ථිකය ඉදිරියේදීත් හකුළාදමා තිබෙනවා. ඒ වගේම එදා ලක්ෂ තුනක ආදායම් ලබාගෙන රුපියල් 36,000ක බදු ගෙවා ඉතිරිය ආයෝජනය කිරීමේ හැකියාවකුත් යම් ප්‍රමාණයකට පැවතුණා.
අනික් පැත්තෙන් ඔවුන් ආයෝජනය නොකළත් භාණ්ඩවලට ඉල්ලුම් කළාම අපේ ආර්ථිකයේ නිෂ්පාදන වැඩිකර ව්‍යාපාර ප්‍රසාරණය කිරීමට හේතු වෙනවා. නමුත් මේ තුළ භාණ්ඩවලට ඉල්ලුම අඩුවුණාම අලුත් ව්‍යාපාර ප්‍රසාරණය වීම සම්පූර්ණයෙන්ම නතර වෙනවා.
ආර්ථිකය ඍණ අගයක තිබීම තව තවත් කඩා වැටෙන්න, ආර්ථිකය තව තවත් හකුළුවාලන්න හේතු වෙනවා. මේක හරියට ජනතාවගේ බෙල්ල මිරිකාගෙන හුස්ම ගන්න කියනවා වගේ වැඩක්.
ඇත්තටම ආණ්ඩුව කළ යුතුව තිබුණේ නව ආදායම් මාර්ග ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමයි. රජයේ ආදායම් වැඩිකර ගැනීම වගේම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ වියදම් අවම කර ගැනීමත් කළ යුතුයි. නමුත් ආණ්ඩුව අවධානය යොමු කර තිබෙන්නේ ආදායම් වැඩිකර ගැනීම කෙරෙහි පමණමයි. වියදම ගැන කිසිසේත්ම අවධානය යොමු කර නැහැ. වියදම් කළමනාකරණයේදී ඉහළ සිට ආදර්ශයන් දිය යුතුව තිබුණා. නමුත් තවමත් වංචා, දූෂණ සිදුකරන අතර, වියදම් අඩුකර ගැනීම කෙරෙහි කිසිම අවධානයක් නොදැක්වීම බරපතළ ප්‍රශ්නයක්.
බදු ගෙවිය හැකි අය තව තවත් අමාරුවේ දැමීම පමණක් සිදුකර තිබෙනවා. මේ සියලු දේවලට හේතුව අහිංසක ජනතාව නොවෙයි. ප්‍රශ්නය ඇති කළ පුද්ගලයන් විසින් ප්‍රශ්නයේ බර නැවතත් ජනතාව මත හෙළා තිබෙනවා.
මහජන ධනය වංචා, දූෂණ සිදුකළ අය බේරාගනිමින් සියලු බර ජනතාව මත පටවා ඉදිරි කාලය කෙසේ හෝ බලයේ රැඳී සිටීමට උත්සාහ කරන බව අපට පෙනෙනවා.








