ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් ඊයේ රාත්‍රී දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනාගේ එකඟතා බිඳ දමමින් ඔහු රජය සමග එක් වී ඇත්තේ ඔහුට ලැබෙන ඇමති ධූරයට කැමැත්තෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ජනතා විරෝධතා නොසලකා ජනාධිපති සහ අගමැති බලයේ හිඳිමින් පාර්ලිමේන්තුවේ සංයුතිය තමන්ට වාසි දායක ලෙස යළි සකස් කරගැනීම සඳහා දියත් වී ඇති වැඩපිළිවෙළ පළමු ප්‍රකාශිත ප්‍රතිඵලය ශාන්ත බණ්ඩාර බවත් ඔහු අද ( 12 ) කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම සිදු වනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ආණ්ඩුවෙන් වෙන් වී ස්වාධීන වූ පිරිසෙන් හැකි තරම් ප්‍රමාණයක් වරදාන සහ වරප්‍රසාද සහිතව යළි ආණ්ඩුව තුළට ගැනීමත් විශ්වාසභංගයට මුහුණ දී රජය පවත්වා ගැනීමත් අවශ්‍ය අවස්ථාවේ දී ජනතා විරෝධය මර්ධනය කිරීමත් ආණ්ඩුවේ සැලසුම වී ඇති බවත් මේ පිළිබඳව කළ විමසීමකදී විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක් ලංකාසරට පැවසීය.
මේ අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ධූරයෙන් ඉවත්වීමට ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.







