මනම්පිටිය නිමල් ජයරත්න
පාරම්පරිකව වැලි ගොඩ දැමූ තමන්ගේ වැලි කැනීම් බලපත්‍ර හිටිහැටියේ දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාව මගින් පවරා ගැනීමෙන් තමන්ට සිදුව ඇති අසාධාරණයට පිහිට වන ලෙසත්, මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තමන්ගේ වැලි කැණීම් බලපත්‍ර ලබාදීමට අවධානය යොමු කරන ලෙස දිඹුලාගල වැලිකන්ද වැලිමංකඩලාභීන් අද ( 28 ) ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැදකිමින් සඳහන් කළහ.
මීට මාසයකට පෙර දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාවන් තමන්ට අයත් වැලි කැනීම් බලපත්‍ර 59 පවරා ගැනීමෙන් තමන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බවත්, මෙම තත්ත්වය මත මංකඩලාභීන්, වැලිගොඩදමන කම්කරුවන්, මෙන්ම වක්‍ර සාමාජිකයින් 1000 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි අසීරුතාවට පත්ව ඇති බව එම්.කේ.කේ. විජේසූරිය සඳහන් කළේය.
දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය සඳහන් කළේ වසර තිහකට ආසන්න කාලයක සිට වැලිගොඩ දමා ජීවත් වූ තම පවුල් ම බඩේ පහර ගසා ඇති බවත්, කිසිදු රජයක ප්‍රාදේශීය සභාවක් නොකල අසාධාරණයක් තම වැලිමංකඩලාභීන්ට වත්මන් ආණ්ඩු බලය පවතින දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාවන් සිදුකර ඇති බවත්, මෙම තත්ත්වය ජනාධිපතිවරයාට මෙන්ම අදාළ බලධාරීන්ට පැහැදිලි කර තම අයිතිවාසිකම් ලබාදීමට මැදිහත් වන ලෙසත් ඉල්ලා සිටිති.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ, සිදුව ඇති අසාධාරණය තේරුම් ගනිමින් වත්මන් රජයට මෙය පැහැදිලි කර දීමට තමන් වහන්සේ මැදිහත්වන බවත්, මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින් වැලි මංකඩලාභීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත්ය.
මෙම වැලි මංකඩලාභීන්ගෙන් රජයට කළු පැල්ලමක් හෝ දැඩි විරෝධයක් පෑමට පෙර ඊට අවධානය යොමු කර ඔවුන්ට කඩිනම් විසඳුම් ලබාදීමට සියලු දෙනාගේ අවධානය යොමු කරන ලෙස තමා, වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවද රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.







