මනම්පිටිය නිමල් ජයරත්න –
-
මේක ආගම්වාදී ගෝත්‍රිකයන්ට කණේ පහරක්… සැබෑ සංහිඳියාව මෙයයි… හින්දු පූකවරුන්ගේ සංගමය කියයි… සිංහල ජාතිය තරම් කාරුණික ජාතියක් ලොවේ කෙහෙවත් නෑ… මව්ලවිවරු කියති…
පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී අභිනව චෛත්‍ය රාජයා ඉදිවන භූමියේම කොටසක සියලු ජාතීන් හා සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන්, සර්වාගමික වතාවත් සිදුකරමින් හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා අද (22) මුල්ගල් තැබීම සිදුවුනේය.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී, වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, සුසිරිගම කළණ මිතුරු සංසදයේ සංවිධානයෙන් මීට වසරකට පෙර මෙම භූමියේම ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික එකමුතුකමේ නමින් චෛත්‍ය රාජයානන්වහන්සේ සඳහා ද මුල් ගල තැබිණි.
ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගේ, දානපතියන්ගේ, දායකයින්ගේ මෙන්ම නුවර ප්‍රදේශයේ දානපතියෙකු වන නලින් ද සොයිසාගේ ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍යරාජයානන්වහන්සේ මෙන්ම හින්දු කෝවිල ඉදිකිරීම ආරම්භ වී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් උතුරු මැද පළාතේ හින්දු පූජකවරුන්ගේ සංගමයේ උපලේකම් ශ්‍රිව සී කේ දයානන්දන් සඳහන් කළේ බෞද්ධ චෛත්‍යක් අසලම හිින්දු කෝවිලක් ඉදිකිරීම මගින් ප්‍රදේශයේ මෙන්ම ලෝකයට ආගමික සංහිදියාවේ පණිවිඩය ගෙන යන හොඳම අවස්ථාවක් උදා කර ඇති බවය.
මෙය අප රටේ අන්තවාදීන්ට කනේ පහරක් බව කී එතුමා, මෙය ආදර්ශයට ගෙන සෙසු පළාත්වල ජාතීන්, ආගම්, එකට ජීවත්වීමේ පණිවිඩය ලබාගත යුතු බව පෙන්වා දුන්නේය. මේ සඳහා දායක වූ සියලු දෙනාට හින්දු ආගමිකයන්ගේ ගෞරවය හිමිවන බවත් එතුමා කීවේය.
මෙහිදී කටුවන්විල පල්ලියේ මවුලවි වරයකු වන එම්, ෆාහිර් කතා කරමින් සඳහන් කළේ ලෝකයේ සෑම ජාතියකටම සිංහල ජාතියත්, ආගමත්, පූර්වාදර්ශයක් සපයන බවත්, සිංහල ජාතිය තරම් සංවේදී, කාරුණික, කළගුණ දන්නා හොඳ ජාතියක් ලෝකයේ කොහේවත් නොමැති බවත්ය.
මෙම අවස්ථාවට මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහ, යුද හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකායේ, නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, ස්වේච්ඡා සංවිධානවල උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.







