දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකා රජය මගින් වෙන්දේසියේ විකිණීමට තීරණය කොට ඇති ඉන්දීය ධීවර යාත්‍රා 105 කින් ලැබෙන ආදායමෙන් කොටසක් ඉන්දීය ධීවරයින් වෙත ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බව තමිල්නාඩු ධීවර සංගමයේ සභාපති එස්.ජේසුරාජා 25 දා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.
නාවික හමුදාව විසින් ඉන්දීය ධිවරයින්ට අයත් ධීවර යාත්‍ර 127 ක් සහ මුර යාත්‍රා 17 ක් දැනට නාවික හමුදාව බාරයේ තබාගෙන සිටින බව පවසන තමිල්නාඩු ධීවර නායකයා ඉන් ධීවර යාත්‍රා 105 ක් වෙන්දේසියේ විකුණා එහි ආදායම ශ්‍රී ලංකා රජය පමණක් තනිවම ලබා ගැනීම දැඩි අසාධාරණයක් බව පෙන්වා දෙයි.
මේ නිසා ධීවර යාත්‍රා වෙන්දේසියේ විකිණීමෙන් ලැබෙන ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එම යාත්‍රාවල ඉන්දීය අයිතිකරුවන්ට ලබා දිය යුතු බව රජයට යෝජනා කරයි.
රජයේ පාර්ශ්වයෙන් එවැන්නක් සිදු නොකරන්නේ නම් ඉන්දියාවේ තමිල්නාඩූ ධීවර සංගමය පොන්ඩිචෙරි ප්‍රාන්තයේ නාගයි, පුදුකෝට්ටෙයි, රාමනාතපුරම් සහ කරෙයිකාල් පළාත්වල සහය ඇතිව දැවැන්ත උද්ඝෝෂණමාලාවක් දියත් කරන බව තමිල්නාඩු ධීවර සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් කොට තිබේ.