චෝදනාවලින් තොර රටටත් ජනතාවටත් පිළිගත හැකි නිලධාරියකු පොලිස්පති ධුරයට පත්කිරිමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුයැයි ගැටඹේ රාජෝවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ කියති.
රටේ නීතිය හා සාමය සුරකින පොලීසිය මේවනවිට අරාජික තත්වයක් පෙන්නුම් කරන අතර එය නරක පුර්වාදර්ශයක් බවද අනුනාහිමියෝ පෙන්වා දෙති.
මේ සංවාදය ඇතිවන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන්නට හැර මහා අපරාධයක් කිරීමේ චෝදනාව පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන්ම එල්ල කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් වූ නිලන්ත ජයවර්ධන හා දේශබන්දු තෙන්නකෝන්ගෙන් අයෙකු පොලිස්පති ධූරය සඳහා නම් කරන්නේ නම් කොළඹ අගරදගුරු වශයෙන් තමා බලවත් කණස්සල්ලට පත්වන බවට මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැන්වීමෙත් සමගය.
අනතුරුව අස්ගිරි පාශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රටේ ජනාධිපතිවරයාට ආරක්ෂාව සම්බන්ධ වැදගත් කාරණාවක්වන පොලිස්පතිවරයා පත් කිරීමට ඉඩ හැරීමට නිදහස ලබා දී ආගමික නායකයන් ඊට බලපෑම් නොකර පසෙකට වී සිටිය යුතු බවය. උන්වහන්සේ ප්‍රකාශ කළේ කාදිනල්තුමා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නම් කර ඔවුන් පොලිස්පති ධූරයට පත් නොකිරීම සඳහා ජනාධිපතිවරයාට බලපෑම් කිරීම වැරදි සහගත ප්‍රවේශයක් බවය.
එහෙත් එම නිවේදනයෙන් පසු ගැටඹේ රාජෝවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ දූෂිතයෙක් නොවන, දූෂණ චෝදනා නැති රටටත් ජනතාවටත් පිළිගත හැකි නිලධාරියෙක් පොලිස්පති කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
උන්වහන්සේ පවසන්නේ පසුගිය කාලය පුරා පොලිසියට විවිධ චෝදනා එල්ලවු බවත් පොලිසියට අවශ්‍ය වන්නේ කීර්තිමත් වර්තමානයක් බවත්ය.
මේ නිසා මොන බලපෑම් ආවත් පොලිස්පති ධුරයට චෝදනා නැති, ජනතාවට පිළිගත හැකි නිලධාරියකු පත්කළ යුතු බව අනු නා හිමියෝ අවධාරණය කරති.
“මෙම උසස් තනතුරට හුදෙක් ජනප්‍රියකම් මතම නිලධාරින් පත් නොකළ යුතුයි. එසේ පත්කිරිමෙන් පොලිසිය අපකීර්තියට පත්වු අවස්ථාද තිබෙනවා. මේ නිසා කාටත් පිළිගත හැකි නිලධාරියකු වහාම පත්කළ යුතුයි. එසේ නොමැතිව තවදුරටත් මේ තනතුර හිස්ව තැබිම නරක පූර්වාදර්ශයක් වේවි. “යැයිද කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමියෝ වැඩිදුරටත් කීහ.