ගම්පොළ ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා අවුරුදු 14 -18 වයසේ පසුවන පාසැල් සිසු සිසුවියන් පනස් දෙනෙකු ඇතුළු තරුණ තරුණියන් 300කගේ පිරිස අතරින් ගංජා සමඟ පුද්ගලයින් දොළොස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පළාත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (24} සමත්ව තිබේ.
ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට නුදුරු ස්ථානයක මෙම සාදය පවත්වා ඇත.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ රහසිගතව මෙම සාදය පිළිබදව ප්‍රචාරය කරමින් පාසැල් සිසුන් ඇතුළු තරුණ පිරිස් ඒ සඳහා ගෙන්වා ගෙන ඇත.
මෙම පාසල් ළමුන්ට තරයේ අවවාද කොට ඔවුන්ගේ දෙමව්පියන්ට බාරදීමට පියවර ගෙන ඇත.
මධ්‍යම පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්නට ලද තොරතුරකට අනුව සුරාබදු නිලධාරියෙක් මෙම ෆේස්බුක් කණ්ඩායමට සූක්ෂමව සම්බන්ධ කොට තොරතුරු ලබාගෙන තිබේ.
මෙම ෆේස් බුක් සාදය 24 දින පස්වරු 02 සිට එදින මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වීමට සැලසුම් කොට තිබී ඇත.
තරුණ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් හා නිලධාරිනියන් දෙදෙනෙක් පෙම්වතුන් ලෙස පෙනී සිටිමින් ෆෙස්බුක් සාදයට සහභාගි කොට උපායශීලිව වැටලීම සිදුකර ඇත.
මධ්‍යම පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්නගේ උපදෙස් මත ගම්පොල, හැටන් හා නුවර එලිය සුරාබදු ස්ථාන වල නිලධාරීන් සහභාගී කරවා ගනිමින් එදින, පස්වරු 05 ට පමණ මෙම වැටලීම සිදුකොට තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ මීට සහභාගී ව සිටී බහුතරයක් විවිධ මත්ද්‍රව්‍යය හා මත්පැන් පානයකර ඉතාමත් අශෝභන ආකාරයෙන් හැසිරෙමින් සිටි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 12 දෙනෙකු අද ( 25) දින ගම්පොල අතිරේක මහේස්ත්‍රා අජිත් උඩුගම මහතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පිරිස හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබේ.
නුවරඑළිය සුරාබදු අධිකාරි එස්.අයි. රාමනායක , මහනුවර සුරාබදු අධිකාරි ආර්.එම්. සේනාරත්න හා හැටන් සුරාබදු ස්ථානාධිපති එස්.ඩී. සේනක සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකොට තිබේ.







