බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස අද දින දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වතේ තම අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව හදිසියේ ම මහර බන්ධනාගාරයේ නිරීක්ෂක සංචාරකයක නිරත විය.
බන්ධනාගාරය හොඳින් නිරීක්ෂණය කළ අතර විනාශ වූ ගොඩනැගිලි හා දේපළ හැකි ඉක්මනින්, නැවත එවැනි ගැටුමක් ඇති නොවන ලෙස යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන්ට උපදෙස් දුනි.
අනතුරුව බන්ධනාගාරගත රැඳවියන් හමු වී ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලූ අතර දැනට බන්ධනාගාර රැඳවියන්ට ඇති ප්‍රධාන ගැටලුවක් වන 1998 සිට ක්‍රියාත්මක නොවූ සිව්වස් සමාලෝචන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතා එකඟ වූ බවත් ඉදිරියේදී හැකි ඉක්මනින් මෙය ක්‍රියාත්මක කරන බවත් දැන්වීය.
තව ද Covid – 19 තත්ත්වය තුළ බන්ධනාගාර භූමිය හා රැඳවියන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරමින් මහර බන්ධනාගාරය ඇතුළු අනෙකුත් සියළු ම බන්ධනාගාරයන්හි රැඳවියන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාව ( Rapid Antigen Test) පරීක්ෂා කඩිනම් කිරීමටත් උපදෙස් ලබා දුන්නේය.
තව ද මේ Covid – 19 තත්ත්වය තුළ තම පවුල්වල සාමාජිකයන් අතර ඇති සම්බන්ධතාවය සඳහා වූ බාධාව තමා තේරුම් ගත් බවත් ඒ සඳහා බන්ධනාගාර රැඳවියන්ගේ පවුල් වල උදවියට ඇති ගැටළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ඉක්මනින් හඳුන්වා දෙන බවත් ප්‍රකාශ කළේය.











