ලලිත් චාමින්ද –
-
අලි මී මැසි වැට සහිත වගාව මග හැර යන අයුරු සීසීටීවී කැමරාවල සටහන් වෙයි…
-
පරාගනය හොඳන් සිදුවන නිසා අස්වැන්න සියයට 30කින් වැඩි වෙලා…. පිරිසිදු මී පැණි නිසා තවත් විශාල අමතර ආදායමක්…
අලි ඇතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරිම සඳහා මීමැසි පාලන වැටක් හඳුන්වාදිමට රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨය හා දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය එක්ව සිදුකළ පර්යේෂණයකදි සමත්ව ඇත.
අලි ඇත් උවදුර දුරුකරණ මීමැසි පාලන වැට ලෙස මෙම පර්යේෂණ ව්‍යාපෘතිය නම්කොට ඇති අතර මෙම ව්‍යාපෘතිය ජනගත කිරීම දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි සිදුකරණු ලැබිය.
මීමැස්සන්ගේ ශබ්දයට හා පැමිණිමට අලි ඇතුන් භීයක් දක්වන බව මෙම පර්යේෂණයේ දි අනාවරණය වි ඇත. රුහුණු විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන මොහාන් පෙරේරා සිසුවා විසින් මෙම පර්යේෂණ ව්‍යාපෘතිය පිළිබඳ යෝජනාව ඉදිරිපත්කොට ඇත. ඉන් පසු රුහුණු විශ්වවිද්‍යාලය මගින් මේ පිළිබද පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියක් සිදුකිරිම සදහා අවශ්‍ය මුල්‍ය හා යටිතල පහසුකම් ලබාදෙන ලෙස දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලිමක් කොට තිබේ.
මොහාන් පෙරේරා සිසුවා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ මහාචාර්ය ලසන්ත අධිකාරම්, රුහුණු විශ්වවිද්‍යාලීය භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය ජේ.එස්.පි බෝධික, සහ රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකාර්මික ජීව විද්‍යා අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය අමානි මාන්නක්කාර සමග එක්ව මෙම පර්යේෂණය සිදුකරණු ලැබිය.
දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති එස්.ඩබ්ලිව්.ජි.ජි සරත් අමරසේකර, අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ජේ.ඒ.එස් ජයසිංහ, කාර්මික සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි ඩි. නිශාන්ත චතුරංග විසින් මෙම පර්යේෂණය සඳහා දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ පුර්ණ සහයෝගය ලබා දි ඇත.

පරීක්ෂණය සිදුකළ අයුරු…
මෙම පර්යේෂණය කිරිම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර හයක පමණ වපසරියකින් යුතු කොමඩු වගා භුමියක් තෝරාගෙන තිබුණි. එම ප්‍රදේශය නිරන්තරයෙන් අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශයක් වන අතර අලි වැටට ඉදිරියෙන් මිටර් හතෙන් හතට මීමැසි පෙට්ටි 20ක් ස්ථාපනය කිරිමට කටයුතු කරනු ලැබීය.

“මී මැසි පාලන වැට අලි වැටට තවත් අදේශකයක් නෙවෙයි. මේ සඳහා අලි වැට මෙන්ම මීමැසි පාලන වැටත් තියෙන්න ඕන. තවත් අතුරු භෝගයක් තිබුනහොත් තමයි මෙම ව්‍යාපෘතිය සාර්ථක වන්නේ. මොන වැටවල් තිබුණත් අලියාට වගාභුමිය හොඳින් පෙනවා.
මී මැසි පාලන වැට ස්ථාපනය කිරිමෙන් පසු අලි ඇතුන් එම වගා භුමිය මගහැර යන බව නිරික්ෂණය වුනා. එහි සවිකොට තිබු සි.සි.ටි.වි කැමරා පද්ධතිය තුළ අලි ඇතුන් වගා භුමිය මගහැර යන බව හොඳින් දක්නට ලැබුනා. අලින් වැට කඩන එකත් නතරවුනා” .

මෙම පර්යේෂණ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළ රුහුණු විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන මොහාන් පෙරේරා කීවේය.
මී මැසි වැටවල් ඉදිකිරිමෙන් අලි ඇතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවමකරගත හැකි බවත් මෙම පර්යේෂණය සාර්ථක බවද රුහුණු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසති.
“මෙම ව්‍යාපෘතිය සාර්ථකයි. ඒ විතරක් නෙවෙයි. මීමැසි පරාගනය තුළින් කොමඩු වගාවේ අස්වැන්න සියයට 30ක් පමණ ඉහළගොස් ඇති බව වගාකරු අපි සමග සඳහන් කළා. මීවද වලින් අමතර ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියෙනවා. මෙම පර්යේෂණය තවදුරටත් දියුණු කරලා අනිකුත් ප්‍රා දේශවලට ද හඳුන්වාදිය යුතුයි…”

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි ඩි. නිශාන්ත චතුරංග පවසයි. මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ජනගත කිරිමේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි, දකුණු පළාත් ධිවර අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.







