වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙර්රා සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු විමර්ශනයක් ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කළ ලිපිය පොලිස් මූලස්ථානයට ලැබීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භකර තිබේ. එම විමර්ශනය අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව සිදුවන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කළේය.
පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණයේ පවතින පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ ආරම්භකර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ පොලිස් මූලස්ථානයට අමාත්‍යාංශයෙන් යොමු කළ එම ලිපිය පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාට විමර්ශන කටයුතු සදහා යොමුකර ඇති බවය.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලේකම් ලෙස කටයුතු කරන පොලිස් නිලධාරියා විසින් ඔහුගේ ජංගම දුරකතනයෙන් එම ලිපිය පිටපත්කර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට යොමුකර ඇති බවටද තොරතුරු අනාවරණය වීම හේතුවෙන් ඔහුගේ ජංගම දුරකතනයත් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා භාවිතා කරන ජංගම දුරකථන දෙකත් විශේෂ විමර්ශන ඒකකය සිය භාරයට ගෙන ඇත.
එම ජංගම දුරකතන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයට භාරදී ඇති අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ලද ලිපිය එරික් පෙර්රා තවත් පාර්ශ්ව වෙත යොමුකර තිබේදැයි මේ වන විට සයිබර් අපරාධ විමර්ශන ඒකකයෙන් වාර්තාවක් ඉල්ලා ඇත.
එම වාර්තාවට අනුව එරික් පෙරේරා සම්බන්ධයෙන් පියවරක් ගැනීමට පොලිස්පතිවරයා සූදානමින් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.







