සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ හැත්තෑවක ( -70) උෂ්ණත්වයක පවත්වාගෙන සංකීර්ණ ශීත දාම ක්‍රියාවලියක් කළමනාකරණය කරගනිමින් ලබා දිය යුතු ෆයිසර් වැනි එන්නතක් අප වැනි ඝර්ම කලාපික රටක ලබාදීමේ දී ඒ සඳහා විශේෂිත පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක සහාය ලබා ගැනීම අතිශයින්ම වැදගත් බවත් එනනත්කරණය සම්බන්ධව මූලික ජාතික නියාමයන් නොසලකා ඉක්මනින් බූස්ටර් එන්නත් ලබාදීමට යුද හමුදාව සම්බන්ධ කරගැනීම බරපතල ප්‍රශ්න ඇති කරන්නක් බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙමින් ඇත.
ජාතික නියාමනයන් නොසලකා “ඉක්මනින් එන්නත්කරණය“ වෙනුවෙන් හමුදාව සම්බන්ධ කරගැනීමේ දි සිදුවන අනිවාර්ය ව්‍යසනය ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එන්නතෙන් අපේක්ෂිත ප්‍රතිදේහ වර්ධනයට සම්බන්ධ වූ ගුණාත්මක ප්‍රතිඵල නොලැබී යෑමය.
මේ සඳහා විධිමත් පුහුණුවක් ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මගින් එන්නත්කරණයේ අතිශයින්ම වැදගත් ප්‍රායෝගික ක්රියාවලියව වූ ශීතදාම ක්‍රියාවලිය පවත්වා ගැනීම කළ යුතු බවත් එසේ නොකළහොත් එන්නතේ ගුණාත්මක බව නැතිවී යනවා පමණක් නොව අතුරු ආබාධ ඇතිවිය හැකි බවත්, මෙතෙක් ෆයිසර් එන්නත ලබා දුන් ක්‍රමවේදය සම්බන්ධව ගැටලු රාශියක් ඇති බවත් ජාතික එන්නත් මාර්ගෝපදේශය දක්වමින් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ශීතදාමය ආරක්ෂා කිරීමට දායක වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලෙස ජාතික එන්නත් මාර්ගෝපදේශයේ දක්වා ඇත්තේ වසංගත රෝග විද්‍යා අංශයට, පවුල් සෞඛ්‍ය කාර්යාංශයට, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට, ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවලට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට, සමහර රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලට අනුයුක්ත ව සේවය කරන විශේෂ පුහුණුවක් ලද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ය.
එන්නත් පිළිබඳ ව කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශේෂ පුහුණුව සහිත කාර්ය නම් එන්නත්වල ශීතදාමය සුරැකීම ය. ඉතාම ආරක්ෂාකාරී සහ ගුණාත්මකභාවයෙන් යුතු එන්නත් නිපදවූව ද, ඉතා ම නවීන උපකරණ සතු වුව ද එන්නත් පිළිබඳව කටයුතු කරන කාර්ය මණ්ඩලය ශීතදාමය නිසි ලෙස පවත්වා නො ගතහොත් එන්නත්වල ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය තහවුරු කළ නො හැකි බව එම මාර්ගෝපදේශයේ පැහැදිලිව දක්වා තිබේ.
මේ සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් සහ පහසුකම් සෞඛ්‍ය අංශ සතුව තිබිය දී බාහිර පාර්ශව සංකීර්ණ එන්නත්කරණයක් සඳහා සම්බන්ධ කර ගැනීම රජය එන්නත්කරණය සඳහා දරා ඇති විශාල පිරිවැය අපතේ යෑමක් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ පිළිබඳව දැනට නිර්නය කර ඇති එන්නත් කරණ ජාතික මාර්ගෝපදේශනය 8 වැනි පරච්ඡේදයෙන් දක්වන්නේ මෙසේය.
එන්නතක් ලබා දීම තුළින් බලාපොරොත්තු වන බෝවන රෝග සෑදීම වැළැක්වීමට නම් ඉතා හොඳ එන්නත් ආවරණයක් ලබා ගත යුතු ය. එන්නත් ආවරණය ඉතා හොඳ මට්ටමක පැවතිය ද ගුණාත්මක භාවයෙන් යුතු එන්නත් (potent vaccine) ලබා නො දුන්නේ නම් එන්නත් මගින් වැළැක්වීමට බලාපොරොත්තු වන බෝවන රෝග සෑදීම නො වැළකේ.
අහිතකර උෂ්ණත්ව පරාසයන් තුළ දී එන්නත්වල ගුණාත්මකභාවය අඩුවිය හැකි බැවින් එන්නත්වල ගුණාත්මකභාවය (potency) ආරක්ෂා කර ගැනීමට නිසි ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ඉතා වැදගත් අංගයක් වේ.
සෑම එන්නතක් ම අධික උෂ්ණත්වයට නිරාවරණය වී යම් කිසි කාලසීමාවක් ගත වූ පසු ඒවාහි ගුණාත්මකභාවය විනාශ වේ. එසේ ම සෑම අජීවී එන්නතක්ම අධිශීතනය වුවහොත් ඒවාහි ගුණාත්මකභාවය නැති විය හැකි ය. සමහර විට අධි ශීතනය වූ එන්නත් ලබා දීමෙන් අතුරු ආබාධ ද ඇති විය හැකි ය.
ඊට අමතර ව එන්නත් හිරු එළියට සෘජුවම නිරාවරණය වීම තුළින් ද විනාශ විය හැකි ය. එබැවින් එන්නත්වල ගුණාත්මකභාවය තහවුරු කිරීමට නම් එන්නත් නිෂ්පාදනයේ සිට එන්නත්ලාභියාට එන්නත ලබා දෙන තෙක්, සෑම එන්නතක් ම නියමිත උෂ්ණත්ව පරාසයේ ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම හා භාවිතා කිරීම සිදු
කළ යුතුය. සමහර එන්නත් ඒවා ලබා දෙන අවස්ථාවේ දී එන්නත් සායනයේ දී ද මෙම උෂ්ණත්ව පරාසය තුළ තබාගත යුතු ය. එන්නත් නිෂ්පාදනයේ සිට එන්නත්ලාභියාට එන්නත් ලබා දෙන තෙක් එන්නත්වල ගුණාත්මකභාවය රැකගැනීම සඳහා එම එන්නත් නිසි උෂ්ණත්වයේ පවත්වා ගැනීමේ ක්‍රියාදාමය ශීතදාමය ලෙසින් හැඳින්වේ.
මෙම ක්‍රියාදාමය සිදු කිරීමට දායක වන්නා වූ කාර්ය මණ්ඩලය හා ඒ සඳහා යොදා ගන්නා උපකරණ ශීතදාමයේ අංග වේ.
ශීතදාමය පවත්වා ගැනීමට අවශ්‍ය උපකරණ
ශීත දාමය පවත්වා ගැනීමට අවශ්‍ය උපකරණ වන්නේ ශීත කාමර (cold rooms), ශීතකරණ (refrigerators) අධි ශීතකරණ (freezers) ශීත පෙට්ටි (coldbox) එන්නත් බහාලුම් vaccine carriers), විදුලි ජනක යන්ත්‍ර (generators),
උෂ්ණත්වමාපක (thermometers) , ඉලෙක්ට්‍රොනික උෂ්ණත්ව දත්ත මාපක, ඩේටා ලොජර්ස් (data lodgers) ලොග් ටැග්ස් (log tags) අධිශිත දර්ශක (freeze tags) සහ එන්නත් ප්‍රවාහනය කරන වාහනය.
ශීතදාමය නිසි ලෙස පවත්වා නො ගන්නා ලද එන්නත් ලබා ගැනීමෙන්,
- එම එන්නතෙහි ඇති රෝග වැළැක්වීමේ හැකියාව හීන වේ.
- ස්ථානීය අතුරු ආබාධ ඇති වීමේ අවදානම වැඩි වේ.
ශීතදාමය ආරක්ෂා කිරීමට දායක වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය
ශීතදාමය ආරක්ෂා කිරීමට දායක වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වන්නේ වසංගත රෝග විද්‍යා අංශයට, පවුල් සෞඛ්‍ය කාර්යාංශයට, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට, ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවලට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට, සමහර රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලට අනුයුක්ත ව සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ය.
එන්නත් පිළිබඳ ව කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මගින් එන්නත්වල ශීතදාමය සුරැකීම සඳහා මහඟු කාර්යයක් ඉටු කෙරේ. එසේ වන්නේ ඉතාම ආරක්ෂාකාරී සහ ගුණාත්මකභාවයෙන් යුතු එන්නත් නිපදවූව ද, ඉතා ම නවීන උපකරණ සතු වුව ද එන්නත් පිළිබඳව කටයුතු කරන කාර්ය මණ්ඩලය ශීතදාමය නිසි ලෙස පවත්වා නො ගතහොත් එන්නත්වල ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය තහවුරු කළ නො හැකි වන බැවිනි.
එබැවින් ශීතදාමය සුරැකීමට අවශ්‍ය සිය ̈ පියවර නිසි පරිදි ගැනීම එන්නත් පිළිබඳ ව කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වගකීමකි.
( ප්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයසඳහා වූ ප්‍රතිශක්තිකරණය පිළිබඳ අත් පොත මෙම දිගුවෙන් ලබා ගත හැකිය. https://www.epid.gov.lk/web/images/pdf/Publication/Immuni_SinhalaV2_2016.pdf )









