ජයකාන්ත ලියනගේ – බළපිටිය –
අද (22) උදෑසන අම්බලන්ගොඩ දී වෙඩි තබා ඝාතනය කළ ව්‍යාපාරිකයා ගේ ඝාතනය අපරාධ කල්ලි අතර ඇති අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවට විමර්ශන අංශ සැක පහළ කරයි.
මෙසේ ඝාතනය වී ඇත්තේ අම්බලන්ගොඩ විද්‍යාල මාවතේ පදිංචි සන්තියාගො හිරාන් කෝසල ද සිල්වා ( 47) නැමැති පුද්ගලයෙකි. ඔහු අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමණාකරු ලෙස කටයුතු කළ තැනැත්තාය.
සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජියෙක් සහ පසුගිය පළාත් පාලන මැතිවරණයේ සමගි ජනබලවේගයේ අමබලන්ගොඩ නගරාධිපති අපේක්ෂකයා ලෙස කටයුතු කළ ඔහු කටයුතු කර තිබිණි. ඔහු මැතිවරණයට තරග වැද තිබුණේ කරිත්තකන්ද කොට්ඨාසයෙනි.
මෙම පුද්ගලයා සහ අපරාධ කල්ලි හා සම්බන්ධ ඉතිහාසයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම තත්ත්වයන් විමර්ශන යටතේ පවතින බවත් පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් මුලින්ම ආයතනයෙන් පිට සිට වෙඩි තැබීමක් සිදුකර ඇත. එම සද්දය කුමක් දැයි විමසීමට ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ ආයතනයේ කාර්ය මණ්ඩලය එළියට පැමිණි විට අදාල ඉලක්කය ලබා ගත් ඝාතකයින් පලා ගොස් තිබේ.
වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේ දීම මිය ගොස් තිබේ.
මේ වනවිට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් භාවිතා කළ යතුරුපැදිය ආඳාදොල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.







