ජයකාන්ත ලියනගේ –
අම්බලන්ගොඩ ධීවර වරායේ නැව් තටාකයේ තිබී ධීවර යාත්‍රාවක මාළු රැස් කර තබන ටැංකිය තුළ සැදි විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ධීරවයින් 11 දෙනෙක් බලපිටිය රොහලට ඇතුළත් කිරීමෙන් පසු එක් ධීවයෙක් මිය ගොස් තිබේ.
මේ වනවිටත් ධීවරයින් 09 දෙනෙක් බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඉන් ධීරවරයින් දෙදෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ගනිමින් ඇත. ධීවරයින් 07 දෙනෙක් වාට්ටු අංක 12හි ප්‍රතිකාර ලබමින් සිටින අතර එක් ධීවරයෙක් ප්‍රතිකාර ලැබ රෝහලෙන් පිටවී ගොස් තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

මීට මාස දෙකකට පමණ පෙර අරාබි මුහුදේ මසුන් මැරීමට ගිය ශෂිනි දුව බහුදින ධීවර යාත්‍රාව පසුගිය 05 වැනිදා අම්බලන්ගොඩ ධීවර වරාය වෙත පැමිණ තිබුණේ මසුන් කිලෝ 4000කට ආසන් අස්වැන්නක් ද සහිතවය.
සාමාන්‍යයෙන් බහුදින ධීවර යාත්‍රාවක් මත්ස්‍ය අස්වැන්න සමග පැමිණි විට එම යාත්‍රාවේ ගබඩාවෙහි ඇති මසුන් ඉවත් කිරීම, යාත්‍රාව සුද්ද පවිත්‍ර කිරීම, යළි දිගු සමුද්‍රායනයක් සඳහා යාත්‍රාව සූදානම් කිරීම සිදුකරනු ලබන්නේ වරායේ වැඩ කරන සේවකයින් විසිනි.
ශෂිනි දුව යාත්‍රාවේ මත්ස්‍ය අස්වැන්න ගබඩා කර තිබූ අයිස් සහිත ගබඩාවේ තිබූ මසුන් කිලෝ හාර දහසකට ආසන්න ප්‍රමාණය පෙරේදා සහ ඊයේ දිනවලදී ඉවත් කර වෙළෙඳපල වෙත යොමු කර තිබිණි. ටැංකියේ අද වනවිට ඉතිරිව තිබී ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර ගමන් කිරීම ආරම්භ කළ අවස්ථාවේදීම ඇල්ලූ “ වන්නෝ” නැමැති මාළු විශේෂයේ කූරි 05 දෙනෙක් ටැංකිය පත්ලේ තිබී ඇත.
ඉතිරි වූ “වන්නෝ” කූරි 05 දෙනා ගැනීම සඳහා අද හවස වරායේ සේවය කරන කාර්මිකයෙක් දවසක් පුරා වසා තිබූ ටැංකිය ඇර ඊට බැස තිබේ. මේ වනවිට මාලු ලේ සහ දියවූ අයිස්වල වතුර අඩි එක හමාරක් පමණ උසට ටැංකිය තුළ තිබී ඇත. මාළු කූරි හතර දෙනා ගන්නට ටැංකියට බැසගත් පුද්ගලයා එක්වරම සිහි නැතිව ඇදවැටී තිබේ. ඔහුව බේරා ගැනීමට තවත් පුද්ගලයෙක් බැස ඇත. ඔහු ද සිහි නැති වී තිබේ. මේ ආකාරයෙන් පුද්ගලයින් 11 දෙනෙක් ටැංකියට බැස තිබෙන අතර ඔවුන් 11 දෙනාම සිහි නැතිව වැටීමෙන් අනතුරව නාවික හමුදාව සහ වරායේ ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදෙන කණ්ඩායම ආරක්ෂිත මුහුණු ආවරණ සහිතව යාත්‍රාවේ ටැංකියට බැස සිහි සුන්ව සිටි පුද්ගලයින් 11 දෙනා ගොඩට ගෙන වහාම බලපිටිය රෝහල වෙත යොමු කර තිබිණි.
එසේ ගෙන යද්දී එක් වරක් පමණක් සිහිය පැමිණි ටැංකියට මුලින්ම බැස්ස ධීවර කාර්මිකයා රෝහලට ඇතුළත් කිරීමටත් පෙර මිය ගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ පොකුණ පාර පරහගතොට වතුගෙදර පදිංචි 44 වියැති එච්.එම්. සරත් කුමාර නැමති ධීවර කාර්මියාය. මෙම අනතුරට ලක් වූ ධීවර කාර්මිකයින් සියලු දෙනාම පළපුරුද්ද සහ අත්දැකීම් සහිත පුද්ගලයින් බව ද වාර්තා වේ.
මේ වනවිට විෂ වායුව ආග්‍රහණය වූ තවත් ධීවර කාර්මිකයින් 02ක් බලපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව හිඳිති.
මේ සම්බන්ධව අදහස් දැක්වූ අම්බලන්තොට ධීවර වරායේ නිලධාරීන් ප්‍රකාශ කළේ මොනතරම් අත්දැකීම් ඇතත් සුළු නොසලකා හැරීමක් විශාල ව්‍යසනයක් ඇති කළ හැකි බවය. යාත්‍රාවේ මාළු ගබඩා කරන අයිස් ටැංකිය වෙත එක් වරම නොබැස වසා තිබෙන ප්‍රවේශය මද වෙලාවක් විවර කර තබා ටැංකියට බැස්සා නම් මේ ආකාරයේ ව්‍යසනයක් සිදුනොවන බවත් මාළු හිස් කර අයිස් අඩු වූ ටැංකි තුළ මාළු ලේ සමග මිශ්‍රවී ජලය ඇති බැවින් විෂ වායු නිපදවීමේ ඉඩක් ඇති බවත් එම නිලධාරීහු පැවසූහ.







