ජයකාන්ත ලියනගේ – බළපිටිය –
අම්බලන්ගොඩ, ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට විදුහල්පති නිල කාමරය තුලදී පහර දීමට අදාලව අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2023 ජුනි 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර අද (20) දහවල් නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දුන්නේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පන්සල පාර, හෑගල්ල, කොස්ගොඩ ලිපිනයේ පදිංචි විජේමුණි චතුර මිහිරාජ් ද සොයිසා (44) නැමැති අයයි.
තමා, ඊයේ (19) පෙරවරුවේ සිය නිල රාජකාරි කාර්යාලයේ රාජකාරි කටයුතු කරමින් සිටියදී බැණ තර්ජනය කරමින් පැමිණි අයෙකු තමාට පහර දුන්නේ යැයි අම්බලන්ගොඩ, දේවානන්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.
විදුහලේ බැට්මින්ටන් ක්‍රීඩාව මුල්කර ගත් ගැටළුවක් හේතුවෙන් මෙම පහර දීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.







